Friday, December 20, 2024

මහනුවර ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පිළිබඳ ඓතිහාසික අධ්‍යයනයක්.

 ජේ. ඒ. ටී.අයි.මදුෂාණි 

BA /  M.phil (History)

University of peradeniya.

2024/12/21


ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙහි ආරම්භය.

              ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව යනුවෙන් හඳුන්වනු ලබන්නේ සංස්කෘතික දායාදයේ කොටසක් ලෙස රාජ්‍ය ලේඛන විධිමත් කළමනාකරණය සහ සංරක්ෂණය කරනු ලබන ආයතනයයි. මෙහි ආරම්භක ඉතිහාසය දෙස අවධානය යොමු කරන විට එම කතාන්දරය ශිෂ්ටාචාර යුගය දක්වා දිව යන බව දක්නට ලැබේ. විශේෂයෙන්ම මෙසපොතේමියාව, මිසරය, චීනය වැනි ශිෂ්ටාචාර වාසින් මැටි පුවරු, පැපිරස්, පාච්මන්ට්, කඩදාසි, ආදී ලේඛන ද්‍රව්‍ය යොදාගෙන ලේඛන කලාව ආරම්භ කිරීමත් සමග එම ලේඛන අනාගතය සඳහා සුරක්ෂිත කිරීමේ අරමුණ ඔවුන් තුළ පැන නැගුණි. මෙම ක්‍රමය තව දුරටත් දියුණු වෙමින් රාජකීයයන් එම ලේඛන තැන්පත් කිරීම සඳහා පුස්තකාල, රාජකීය ලේඛනාගාර ආරම්භ කරනු ලැබීය. මෙම ක්‍රමය තවදුරටත් සංවර්ධනය වෙමින් ලෝකය පුරා රාජ්‍ය ලේඛනාගාර ආරම්භ වීම සිදුවිය. ශ්‍රී ලංකාව තුළ ලේඛන කලාවේ ආරම්භය සහ ලේඛන සුරැකීමේ කටයුතු ආරම්භ කර තිබෙන්නේ ක්‍රි.පූ. 3 වන සියවසේ සිට බව මූලාශ්‍ර තුළින් සනාථ වේ.


ඉතිහාසයේ විවිධ අවස්ථාවන්හි මෙරට ලේඛන ආරක්ෂා කිරීම සඳහා පොත්ගුල් ගොඩනංවා තිබූ බවට සාධක පවතී. එමෙන්ම රාජකීය වාර්තා ලේඛනගත කොට පවත්වාගෙන යාම සඳහා මහ මොහොට්ටි, මහලේනා වැනි තනතුරු මෙරට පැවත ඇත. පෘතුගීසි  ජාතිකයන් විසින් මෙරටට කඩදාසි ලේඛන කලාව හඳුන්වා දෙන තෙක් ම පැවතියේ පුස්කොළ පොත් ලේඛන කලාවයි. පෘතුගීසි ජාතිකයන් මෙරටට පැමිණෙන විට ලේඛන සම්බන්ධ නිලධාරීන් ද රැගෙන ආ බවට සාධක පවතී. නමුත් ලන්දේසීන් විසින් මෙරට පෘතුගීසින් සතු මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගන්නා විට පෘතුගීසින් සතු ව පැවැති ලේඛන සියල්ල විනාශ කළ බව සඳහන් වේ. මෙනිසා ඔවුන් පිළිබඳව හැදෑරීමට ලේඛන මූලාශ්‍ර ඉතිරිව නොමැති නමුත් පසුකාලයේ පෘතුගාලය සමඟ පැවැති සබඳතා මගින් ලේඛන කිහිපයක් ලබා ලබා ගැනීමට මෙම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ලන්දේසින් විසින් ඔවුන් සතු ලේඛන ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ බැවින් ඔවුන් විසින් ක්‍රමානුකූලව ලේඛනාගාරයක් ස්ථාපිත කිරීමට ද කටයුතු කරනු ලැබීය. ඒ අනුව 1640 දී ඔවුන් ගාල්ලේ ලේඛනාගාරයක් පිහිටුවනු ලැබීය. 1656 දී එම ලේඛනාගාරය කොළඹට ගෙන එන ලදුව 1796 දක්වා එහි පැවති බව සඳහන් වේ.

1796 දී බ්‍රිතාන්‍යයන් ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔවුන් විසින් රාජ්‍ය ලේඛන වල භාරකාරත්වය යටත් විජිත භාර ලේකම් යටතට පත් කරනු ලැබීය. අනතුරුව 1901 ලේඛනාරක්ෂක තනතුරු ඇති කොට 1947 දී රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබීය. 1966 ඔක්තෝබර් 01 දින එම දෙපාර්තමේන්තුව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව බවට පත්විය. එමෙන්ම රාජ්‍ය ලේඛනාරක්ෂක තනතුර ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂක බවට පත්විය. 1986 කොළඹ තුරඟ තරග පිටියේ දැනට ජාතික ලේඛනාගාරය පවත්නා ගොඩනැගිල්ලෙහි ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව ස්ථාපිත කරනු ලැබීය. මෙය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තුවකි. 1973 අංක 48 දරණ ජාතික ලේඛනාරක්ෂක පනත යටතේ මෙම ආයතන බිහිවිය. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ගලා එනුයේ විවිධ වූ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන මගින් බිහි කරනු ලබන ලිපි ගොනු ය.


ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතු ලේඛන.

අධිලේඛනයක් යනු,

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව බිහි කර ඇත්තේ රජයේ සහ විවිධ ආයතන මගින් බිහි කරනු ලබන ලේඛන අකර්මණ්‍ය තත්ත්වයට පත්වූ පසු එම ලේඛන ස්ථීර සංරක්ෂණය සඳහා තැන්පත් කිරීම සඳහා ය. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතු වන එම ලේඛන එය සතු වන්නේ එම ලේඛන බිහිවී වසර 25ක් ගිය පසුවය. එහිදී ලේඛන සමීක්ෂණයකින් පසුව ඒ ඒ ආයතනයන්හි  රාජකාරි කටයුතුවලින් බැහැර කරනු ලබන ඓතිහාසික, සංස්කෘතික හා නෛතික වටිනාකමින් යුත් අවුරුදු 25 ට වඩා පැරණි ලේඛන ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ආබද්ධ කරගනු ලබයි. මෙලෙස ආබද්ධ කර ගනු ලබන ලේඛන "අධිලේඛන" වශයෙන් හඳුන්වනු ලැබේ.


ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතු ලේඛන.

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ආබද්ධ කර ගනු ලබන ලේඛන යුග වශයෙන් වර්ග කිහිපයකට වෙන් කර දැක්විය හැකිය.

එනම්, 

  1. පෘතුගීසි යුගයේ ලේඛන

  2. ලන්දේසි යුගයේ ලේඛන

  3. බ්‍රිතාන්‍ය යුගයේ ලේඛන

  4. නිදහසින් පසු යුගයේ ලේඛන


වශයෙනි. මෙමගින් නිදහසට පෙර යුගයේ ශ්‍රී ලාංකේය ඉතිහාසය අධ්‍යයනයෙහි ලා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව තුළ තැන්පත් අධිලේඛන පිළිබඳව පමණක් අවධානය යොමු කරන බැවින් පෘතුගීසි, ලන්දේසි හා බ්‍රිතාන්‍ය යුගයේ ලේඛන පිළිබඳව පමණක් අවධානය යොමු කිරීම සිදු වේ. තවද දෙපාර්තමේන්තුව සතු ලේඛන පහත පරිදි වර්ගීකරණය කිරීමට ද හැකියාවක් පවතී.

එනම්,

  1. සාම්ප්‍රදායික ලේඛන

    1. පුස්කොළ ලේඛන 

    2. කඩදාසි ලේඛන 


  1. සාම්ප්‍රදායික නොවන ලේඛන 

    1. ශ්‍රව්‍ය දෘශ්‍ය ලේඛන 

    2. පරිගණක ලේඛන 


  1. ප්‍රාථමික ලේඛන (අධිලේඛන) 

  2. ද්විතියික ලේඛන (ප්‍රකාශන සහ පුවත්පත්)

  3. පොදු ලේඛන 

  4. පෞද්ගලික ලේඛන


ආදී වශයෙනි.

නිදහසට පෙර කාලපරිච්ඡේදය පිළිබඳ තොරතුරු සඳහන් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු වාර්තා පොදුවේ පහත පරිදිය.

  • unchecked

    ලන්දේසි තෝම්බු (18 වනසියවස)

  • unchecked

    රජයේ සන්නස් (1802-1931)

  • unchecked

    රජයේ ගැසට්පත්‍ර (1802 සිට මේ දක්වා)

  • unchecked

    උපත්, මරණ හා විවාහ පිළිබඳ තොරතුරු (පුස්කොළ පොත්) (1806- 1867)

  • unchecked

    ඉඩම් නිරවුල් කිරීමේ ලේඛන (1867 – 1900)

  • unchecked

    ධාන්‍ය බදුපොරොන්දු ලේඛන (1880- 1892)

  • unchecked

    විහාර හා දේවාලගම් ලේඛන (1856- 1870)

  • unchecked

    සේවා භුක්ති ලේඛන ( 1870-1872)

  • unchecked

    ආඥාපනත් (1870- 1950)

  • unchecked

    පුවත්පත් (1832 සිට මේ දක්වා)

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛාවේ ඇති මේ යුගය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත හැකි අධිලේඛන සහ රජයේ ප්‍රකාශන පහත සඳහන් වේ. ( 1948 දක්වා තොරතුරු ඇතුළත් ලේඛන පමණක් මෙහි සඳහන් කර ඇත.)


  • පාලන වාර්තා (1868 1970)

  • හැන්සාඩ් (1908 - 1942)

  • නිල් පොත් (1863 - 1938)

  • සංගණන වාර්තා (1891 - 1934)

  • සිවිල් ලැයිස්තු (1873 - 1932)

  • පනත්  (1945 - 1985)

  • ආඥා පනත් (1834 - 1970)

  • ගැසට් (1822 - 2013)


  • මහනුවර කච්චේරිය (1821 1970)

  • යාපනය කච්චේරිය (1795 -1917)

  • මහනුවර කොමසාරිස් මණ්ඩලයේ වාර්තා (1815 - 1833)

  • කෑගල්ල කච්චේරිය (1833 - 1952)

  • මාතලේ කච්චේරිය  (1891 - 1971)

  • කුරුණෑගල කච්චේරිය (1834 - 1949)

  • ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව (1866 - 1957)

  • ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව  (1808 - 1917)

  • පොලිස් දෙපාර්තමේන්තුව  (1880 - 1978)

  • වෙළඳ ලකුණ හා පේට්න් බලපත්‍ර (1889 - 1980)

  • නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව (1841 - 1926)



මෙම රජයේ ප්‍රකාශන හා අධිලේඛන තුළින් ශ්‍රී ලංකාවේ නිදහසට පෙර යුගයේ දේශපාලනික, ආර්ථික, සමාජමය හා සංස්කෘතික තොරතුරු රාශියක් අනාවරණය කර ගත හැකිය.


නිදහසට පෙර යුගයේ ඉතිහාසය හැදෑරීම සඳහා යොදා ගත හැකි අධිලේඛන මූලාශ්‍ර 


  1. පෘතුගීසි යුගයේ ලේඛන


ලංකාවට පැමිණි ප්‍රථම යුරෝපා ජාතිය වන්නේ පෘතුගීසි ජාතිකයන් ය. මොවුන් විසින් ලංකාවට කඩදාසි හා මුද්‍රණ ශිල්පය හඳුන්වා දුන් අතර ඔවුන් විසින් මෙරට දී නිකුත් කරනු ලැබූ ලේඛන හා මව් රට සමඟ පැවැත් වූ සබඳතා ඇතුළත් ලේඛන ලන්දේසි ආක්‍රමණ සිදු වීමත් සමග විනාශ කර දැමීමට කටයුතු කිරීම නිසා පෘතුගීසීන් සතු ලේඛන විනාශ වී ගිය අතර යම්තාක් ඔවුන් පිළිබඳව තොරතුරු අධ්‍යයනය කිරීමට හැකි වී ඇත්තේ එරට සමග පවත්වන ලද සබඳතා මගින් ගෙන්වා ගන්නා ලද ලේඛන කිහිපයකින් පමණි. මෙහිදී ඉතා වැදගත් පෘතුගීසි ලේඛන කාණ්ඩයක් වන්නේ සිංහල රජවරුන්ගේ ලේකම් මිටි පදනම් කර ගනිමින් සකස් කරන ලද ලේඛන හෙවත් තෝම්බු ය. අලුත්කුරු, හේවාගම්, හාපිටිගම, කළුතර, මීගමුව, සල්පිටි කෝරළය, වලල්ලාවිට ආදී කෝරලවලට අයත් තෝම්බු කිහිපයක් දෙපාර්තමේන්තුව සතු වේ. 1593 සිට 1604 දක්වා ලංකාවේ බලකොටු වලින් ලද ආදායම හා වැය විස්තර ද දෙපාර්තමේන්තුව සතුව පවතියි. මෙම තෝම්බු පෘතුගීසි පාලන සමයෙන් පසු 1796 දක්වා ඕලන්ද සමය තුළදී ද සකස් කරනු ලැබීය.


මෙහිදී තෝම්බු සැකසීම සඳහා ඔවුන්ට මග පෑදූ හේතුව වන්නේ, කෝට්ටේ රාජධානිය ප්‍රමුඛ ප්‍රදේශ පෘතුගීසි  පාලනය යටතට පත්වීමෙන් පසු රාජ්‍ය ආදායම් එකතු කිරීමේ ක්‍රියාපටිපාටි නව මුහුණුවරක් ගෙන තිබීමයි. තෝම්බුව යනුවෙන් දක්වන්නේ පුද්ගලයකුට අයත් දේපළ පිළිබඳව තොරතුරු සොයා ඒවා ඒකරාශීකොට සකස් කළ ලේකම් මිටියටය. උපත, විවාහය, මරණ වතුපිටි, හරක බාන, රැකියාව, පවුලේ තොරතුරු පමණක් නොව ඔහුගේ ජාතිය ජන්මය පිළිබඳ තොරතුරු පවා ඊට ඇතුළත්ය. පත් ඉරු අංක යොදා ගම්, පත්තු, කෝරල, ආදියේ නම් සහ ආදායම් නිලධාරියාගේ අත්සන සහිතව මෙකල සැකසුන තෝම්බු වර්ග දෙකක් විය. ඉන් එකක් වූයේ රටවැසියන්ගේ දේපළ පාලකයන්ට සලසන සේවා දායකත්වය සහ ඔවුන්ගෙන් ලැබිය යුතු ආදායම් පිළිබඳ තොරතුරු ඇතුළත් දේපළ ලේඛනයයි. අනෙක කතෝලික සභාව සඳහා වෙන් කරන ලද ඉඩම් සහ පුද්ගලයන්ට පවරා දෙන ගම් බිම් පිළිබඳ විස්තර ඇතුළත් ලේඛනය විය. එසේ ලබාදෙන ගමේ නම, ගම් ලද්දාගේ නම ඔහු ගෙවිය යුතු බද්ද ආදිය එහි වෙන් වෙන්ව සඳහන් කරන ලදී. එකල ආර්ථික පරිපාලනය මෙන්ම සමාජ සංස්කෘතික තත්වය පිළිබඳව ද පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා පර්යේෂකයන් හට වටිනා ප්‍රාථමික මූලාශ්‍රයක් වශයෙන් තෝම්බු පෙන්වාදිය හැකිය.

පෘතුගීසි යුගයට අයත් සීතාවක සටන, බොකෝරෝයි කෘතිය ආදී ලේඛන ද මෙම දෙපාර්තමේන්තුව සතුව පවතී. බොකෝරෝගේ කෘතියෙහි ඔහු විසින් අඳින ලද විස්තර සහිත ලංකාවේ පෘතුගීසි බලකොටු පිළිබඳ ග්‍රන්ථය මෙහිදී ඉතා වැදගත් මූලාශ්‍රයකි.


  1. ලන්දේසි යුගයේ ලේඛන.


පෘතුගීසීන් පලවා හරිමින් 1656 දී ඕලන්ද ජාතිකයන් මෙරට යටත් විජිත පිහිටුවා ගනු ලැබීය. ඔවුන් විසින් මෙරට සියලු ලේඛන සුරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය විධිවිධාන ක්‍රියාත්මක කිරීම සුවිශේෂී සිදුවීමකි. බ්‍රිතාන්‍ය ලේඛන තරම් ප්‍රමාණයක් මෙහි දී දැකගත නොහැකි වුවද පෘතුගීසි ලේඛන වලට වඩා ලන්දේසි ලේඛන ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතී. මෙරට පවතින ලේඛන වලට අමතරව බතාවියාව, ඕලන්දය යන රටවල පවතින ලන්දේසි ලේඛන තුළින් ද ලංකාව තුළ ලන්දේසීන්  ගෙන ගිය යටත්විජිත ක්‍රියාකලාපය අධ්‍යයනය කිරීමට පර්යේෂකයන් හට හැකියාව පවතී. 


ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතින ලේඛන අතරින් විශේෂයෙන්ම දෙවන රාජසිංහ රජු විසින් ලන්දේසීන් වෙත යවන ලද ලිපි 24 ක් දැක ගත හැකිය. මෙහිදී රජු විසින් ලන්දේසීන් ආමන්ත්‍රණය කරන ලද ආකාරය, ඔහු විසින් තම ගරුත්වය ආරක්ෂා කරගත් ආකාරය මෙන්ම ලන්දේසීන් විසින් රජුගේ සුවච කීකරු පුද්ගලයන් වශයෙන් අඟවමින් දක්ෂ ලෙස කටයුතු කළ ආකාරය ද හඳුනාගත හැකිය. 


එමෙන්ම ඕලන්ද දේශපාලන කවුන්සිලයෙහි සාකච්ඡා සටහන් ලංකා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් කර තිබේ. කොළඹ, යාපනය හා ගාල්ල යන කොමාන්ඩරි වල පරිපාලන ප්‍රතිපත්ති සහ තීරණ මෙම ලේඛනයන්හි අඩංගු වේ. තවද මන්නාරම, තුත්තුකුඩිය, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මලබාර් වෙරළේ පිටස්තර නගර සහ ස්ථානවල ගත් තීරණ අඩංගු ලිපි ලේඛන දහසක් පමණ සමන්විත ඕලන්ද ලේඛන මෙම ආයතනය සතුව පවතී. මෙම ලේඛන කාණ්ඩය ඕලන්ද පරිපාලනයේ කොදු නාරටිය බඳු මුල් ලේඛන  වශයෙන් වැදගත් වේ. තවද දේශපාලන මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද ඇමුණුම්, අතිරේක වාර්තා ද මෙම ලේඛන වල අන්තර්ගත වේ. එම ලේඛන ප්‍රධාන වශයෙන් කාණ්ඩ පහකට වර්ග කළ හැකිය.


  1. පොදු සාකච්ඡා සටහන්

  2. රහස්‍ය සාකච්ඡා සටහන්.

  3. අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ සටහන්.

  4. යුද කමිටු සටහන්.

  5. රහස් කමිටු සාකච්ඡා.


එමෙන්ම ක්‍රි. ව. 1966 සිදු සිදුවූ ලන්දේසි උඩරට ආක්‍රමණය සම්බන්ධ විස්තර හා රජු හා ලන්දේසීන් අතර ඇතිවූ හඟුරන්කෙත ගිවිසුම ද ලේඛනාගාරයේ දැකගත හැකිය. මෙම ගිවිසුම ඇති වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා වෙත භික්ෂූන්ගේත්, ජනතාවගේත් අප්‍රසාය ඇති වීම හේතුවෙනි. එම අවස්ථාවෙහි රජු ලන්දේසීන් වෙත සාමය සඳහා දූතයන් යවා ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. මෙම අවස්ථාවේ ලන්දේසි ආණ්ඩුකාරයා වශයෙන් කටයුතු කරන ලද්දේ ෆල්ක් ආණ්ඩුකාරවරයා ය. ඔහු විසින් රජුට කොන්දේසි මාලාවක් ඉදිරිපත් කළ අතර එයට රජු එකඟ විය. මෙය වගන්ති 25කින් යුත් ගිවිසුමකි. මෙය ලංකා ඉතිහාසයේ සිදු වූ අපකීර්තිමත්ම ගිවිසුම ලෙස සැලකිය හැකිය. ඒ අනුව එකල වූ ඓතිහාසික සිදුවීම් තහවුරු කරගැනීමට මෙම ලේඛන වටිනා සාක්ෂි වශයෙන් පර්යේෂකයන්ට යොදාගත හැකිය.


තවද මෙරට පැවති දේශීය නීති රීති තම සම්ප්‍රදායට අනුව වෙනස් කරගත් ලන්දේසීන්ගේ නීති හා අධිකරණ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමේ දී බතාවියාවේ නව ව්‍යවස්ථා නම් වෙලුම් පහකින් සමන්විත අත් ලිපි හා තේසවලාමෙයි නීති සංග්‍රහය, මුස්ලිම් හා මුක්කරු නීති සංග්‍රහ ආදිය ද මෙම ආයතනයෙහි සුරක්ෂිතව පවතී. පමණක් නොව 1656 සිට 1994 දක්වා ඕලන්ද ජාතිකයන් ට අයත් වූ මෙරට බොහෝ ප්‍රදේශවල සිතියම් ද මෙම ආයතනයෙහි  සුරක්ෂිතව පවතී.


පෘතුගීසි පාලන සමයෙන් පසු 1658 සිට 1796 දක්වා පැවති ඕලන්ද සමය තුළදී ද තෝම්බු සකස් කරන ලදී. මෙම තෝම්බු ලේඛන ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතී. ලන්දේසීන් ලංකාවේ නිරිතදිග තැනිතලාවේ තෝම්බු කොමසාරිස්වරුන් ලෙස පත් කළේ අප්පුහාමිවරුන්ය. ඔවුන්ගේ රාජකාරි සහායට කෝරළයේ මුදලිවරුන්, ගමේ ගම්මුලාදෑනීන් සහ ජ්‍යෙෂ්ඨයන්ගේ සහාය ගන්නා ලදී. හිමිකම පැවසූ සෑම ඉඩමකටම අදාළ ඔප්පු සන්නස් ආදිය ඉදිරිපත් කළ යුතුවිය. නොඑසේනම් පරම්පරා තුනක් අඛණ්ඩව භුක්ති විඳි බවට මුලාදෑනීන් ඉදිරියේ තහවුරු කළ යුතු විය. පවුලේ අය රජයට ඉටු කිරීමට බැඳී ඇති සේවය ද දින ගණන ද එම තොම්බුවල ඇතුළත් කරන ලදී.   


ලන්දේසීන් විසින් සකස් කළ තෝම්බු වර්ග තුනකි. ගෘහ මූලික පදනම යටතේ සකසන පවුල් තෝම්බුව, පවුලේ සියලුදෙනාගේ නම, වයස, අනිවාර්ය සේවාව, ගෘහමූලිකයාගේ කුලය ඉතා වැදගත් විය. භුක්තිය තහවුරු කිරීමට අසමත් වූ විශාල ඉඩම් රජයේ අයිතියට පත්විය. සෑම ගමකම ජීවත් වූ කුල සේවාවන් ප්‍රථම වරට ලියාපදිංචි වූයේ මේ සමයේය. පවුල් තෝම්බුවට අමතරව ඉඩම් තෝම්බුව මෙන්ම පාසල් තොරතුරු ද තෝම්බු ගත කරන ලදී. ඒ අනුව ලංදේසි යුගයේ ආර්ථික, දේශපාලනික,සමාජ හා සංස්කෘතික තොරතුරු අධ්‍යයනය සඳහා යොදාගත හැකි වටිනා ලේඛන කාණ්ඩයක් වශයෙන් ලංදේසි තෝම්බු පෙන්වා දිය හැකිය.


3. බ්‍රිතාන්‍ය පාලන සමයේ ලේඛන 

ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලන යන අංශවල මහා පෙරළියක් සිදු වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ දී ය. ඔවුන්ගේ යටත් විජිත පාලන සමය තුළ ලංකාවේ පරිපාලන මධ්‍යස්ථාන වල අඛණ්ඩව ලේඛන ගොඩ නැඟුන අතර ඒවා  මව් රට හා යටත්විජිතය අතර හුවමාරු වූ නිල ලේඛන වලින් ද ලංකාවේ විවිධ පළාත් හා පරිපාලන මධ්‍යස්ථාන අතර වූ ලිපි හුවමාරු වලින්ද සමන්විත වේ. ඒ අනුව බ්‍රිතාන්‍ය යුගයේ ඉතිහාසය හැදෑරීමේදී මෙම ඉංග්‍රීසි පරිපාලන ලේඛන වැදගත් මුලාශ්‍රයකි. පමණක් නොව ස්වයං චරිතාපදාන, චරිත කතා, රාජ්‍ය උපායාත්මක නිගමන ඇතුළත් ලේඛන ද මෙහිලා වැදගත් වේ.

බ්‍රිතාන්‍ය යුගයට අයත් පරිපාලන වාර්තා ඉතා විශ්වාසදායි මූලාශ්‍ර වශයෙන් හැඳින්වෙන්නේ ඒවා බොහොමයක් සකස් කිරීමේදී රචකයන් තම පාලන කටයුතු අරමුණු කරගනිමින් පෞද්ගලිකවම දැන හඳුනාගත් තොරතුරු ඒවායෙහි අන්තර්ගත කිරීම හේතුවෙනි. මෙම පරිපාලන වාර්තා සැකසීම සඳහා පළමුවෙන්ම නිල නියෝගය ලබා දෙන ලද්දේ තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා ය. මීට පෙර ද ඉංග්‍රීසි පරිපාලන වාර්තා සකස් කිරීම යම්තාක් පැවතියද එය අනිවාර්ය කිරීම සිදුවූයේ එතුමාගේ නියෝගයෙනි. මෙමඟින් ඉංග්‍රීසි පරිපාලනය විධිමත් කිරීමට ඔහු උත්සාහ ගත් බව පෙනේ. මෙම පරිපාලන වාර්තා මගින් ලැබෙන විශාලතම ප්‍රයෝජනය වන්නේ බ්‍රිතාන්‍යයන්ගේ බලය ස්ථාපිත කිරීමට පෙර හා පසු තත්ත්වය අවබෝධ කර ගැනීමට මනාව හැකිවීමයි. තවද කුල ක්‍රමය, ලාංකීය විවාහ ක්‍රම ආදිය පිළිබඳ තොරතුරු මින් හඳුනාගත හැකිය. විශේෂයෙන් කරාව කුලය පිළිබඳව, උඩරට පැවති බහු විවාහ ක්‍රමය කෙරෙහි ඉංග්‍රීසින් විරුද්ධ  වූ ආකාරය, 1815 උඩරට ගිවිසුම මගින් මෙරට ප්‍රධානින් සතුව පැවති වරප්‍රසාදයන් ද පිළිබිඹු වේ. 

බ්‍රිතාන්‍ය යුගය හැදෑරීම සඳහා ඉවහල් කර ගත හැකි ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතු රජයේ ප්‍රකාශන පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වේ. ඒවානම්,


  • unchecked

    පාලන වාර්තා (1868 - 1970)

  • unchecked

    සැසි වාර්තා (1860 - 1947 )

  • unchecked

    හැන්සාඩ් (1908 - 1942)

  • unchecked

    නිල් පොත් (1863 - 1938)

  • unchecked

    සංගණන වාර්තා (1891 - 1934)

  • unchecked

    සිවිල් ලැයිස්තු (1873 - 1932)

  • unchecked

    පනත්  (1945 - 1985)

  • unchecked

    ආඥා පනත් (1834 - 1970)

  • unchecked

    ගැසට් (1822 - 2013)


පාලන වාර්තා නමින් හැඳින්වෙන රජයේ ප්‍රකාශන 1868 සිට මේ දක්වා ප්‍රකාශයට පත් කර තිබේ. මෙම වාර්තාවන්හි අදාල වර්ෂයන්හි දිසාපතිවරු, දෙපාර්තමේන්තු නිලධාරීන් හෝ රාජ්‍ය ආයතන ප්‍රධානීන් විසින් ඉටුකළ කාර්යයන් වාර්තාවක් වශයෙන් ඉදිරිපත් කර ඇත. එහි කාර්ය සාධනය, අරමුණු සාක්ෂාත් කර ගැනීම, ගත් වැදගත් තීරණ, ආදායම් වියදම් ප්‍රකාශ ආදිය ඇතුළත් වේ. මෙමගින් රාජ්‍ය කාර්යාල වල කෙටි පරිපාලන ඉතිහාසයක් ලබාදී.


සැසි වාර්තා 1860 සිට ප්‍රකාශයට පත් කරන ලදී.  ‍ව්‍යවස්ථාදායක සභාවෙන් හෝ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව සැසි වාර්තා ප්‍රකාශයට පත් කළ හැකිය. 1860 - 1931 දක්වා කාලය තුළ සැසිවාර ව්‍යවස්ථාදායක සභාවට ද, 1931 - 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ද, 1947 - 1972 දක්වා පාර්ලිමේන්තුවටද යවන ලදී. 1972 සිට 78 දක්වා ජාතික රාජ්‍ය සභාවට ද, 1978න් පසු පාර්ලිමේන්තුවට ද යවනු ලැබීය. තවද යම් කරුණු සම්බන්ධයෙන් පත් කරනු ලබන කොමිෂන්සභා වාර්තා සැසිවාර පත්‍රවල පළ කෙරේ. සිතියම්, සැලසුම්, රූප සටහන්, සංඛ්‍යාලේඛන සහ පින්තූර  රාජ්‍ය ආයතන සැසිවාර පත්‍රවල ඇත.


තවත් වටිනා රජයේ ප්‍රකාශන දෙවර්ගයක් වන්නේ (1815 - 1862) කාලයට අයත් The Ceylon Almanac සහ (1863 - 1962) කාලයට අයත් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් ලැයිස්තුවයි. මේවා රජයේ නිලධාරීන්ගේ නම් ලයිස්තු වලින් සමන්විතය. මේවායේ ව්‍යවස්ථාදායක, විධායක මණ්ඩල සාමාජික තොරතුරු, අදාළ වර්ෂ වල දින දර්ශන, දින සහ වැදගත් සිදුවීම්, විවිධ පළාත් වල මුහුදු මට්ටම් උස, සාම්ප්‍රදායික සිංහල නම් කිරීම් හා ඉංග්‍රීසි තේරුම්, ආණ්ඩුකාරවරු හා ඔවුන්ගේ කාලය, යටත්විජිත කාර්යාල නිලධාරීන්ගේ නම්, සිවිල් සේවක නම් ලැයිස්තු හා ඔවුන් පත් කළ දිනය, තනතුරුවලින් ඉල්ලා අස් වූ දින, ඔවුන්ගේ ලිපිකරුවන් ආදී තොරතුරු දැක්වේ.


හැන්සාඩ් වාර්තා ප්‍රකාශනයට පත් කරන ලද්දේ 1870 දීය. ව්‍යවස්ථාදායක සභාව, ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, සෙනෙට් සභාව, ජාතික රාජ්‍ය සභාව, පාර්ලිමේන්තුව සම්බන්ධ හැන්සාඩ් වාර්තා තිබේ.

නිල් පොත් ප්‍රකාශන ප්‍රකාශයට පත් කරන ලද්දේ ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ දහනවවන සියවසේ මුල් භාගයේදීය. සෑම වසරකම දෙසැම්බර් 31 දින ඉදිරිපත් කරන ලද රජයේ ප්‍රකාශනයක් වශයෙන් මෙය හැඳින්වේ. එය යටත් විජිත රජයේ ප්‍රගතිය ප්‍රදර්ශනය කිරීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද්දකි. ශ්‍රී ලංකා රජයේ එක් එක් වර්ෂය සඳහා වූ මුළු ආදායම් හා වියදම් පිළිබඳ වැදගත් වාර්තාවක් වශයෙන් මෙය හැඳින්විය හැකිය. කවරය නිල් පැහැති නිසා නිල්පොත් යනුවෙන් හඳුන්වා ඇත. මේවා 1822 සිට මුද්‍රණය කිරීම ආරම්භ කරන ලදී. 1821 - 1861 දක්වා පොත්වල අත් අකුරු කියවීම ඉතා අපහසු වීම නිසා 1937 දී ඔවුන් මෙම ප්‍රකාශන මුද්‍රණය කිරීම නවත්වා දමන ලදී. රජයේ නියෝග යටතේ මෙම ප්‍රකාශ නිකුත් කිරීම සිදු විය. මෙහි තොරතුරු  සඳහා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, වාණිජ හා කර්මාන්ත දෙපාර්තමේන්තුව ආදිය විසින් දායක වී ඇත. මේවායේ රටේ විවිධ ක්‍රියාකාරකම් පිළිබඳ සංඛ්‍යාලේඛන තොරතුරු අඩංගු වන අතර සෑම වසරකම යටත්විජිත භාර රාජ්‍ය ලේකම් හරහා මේ වාර්තා ලංකාවේ ආණ්ඩුකාරවරයා විසින් බ්‍රිතාන්‍ය රජය වෙත ඉදිරිපත් කරනු ලබයි. 19 හා 20 වැනි සියවස්වල වැවිලි ආර්ථිකය සම්බන්ධ බදු, තීරු බදු ගාස්තු, වෙනත් ආදායම් මාර්ග ද මේවායේ අන්තර්ගත වේ.

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ තොරතුරු ගෙන හැර දක්වන තවත් වටිනා ප්‍රකාශනයක් ලෙස ලංකා රජයේ ගැසට් පෙන්වාදිය හැකිය. 1802 මාර්තු 15 පළමු ගැසට් පත්‍රය නිකුත් කරන ලද අතර මුල් අවධියේ සතියකට වරක් ගැසට් මුද්‍රණය කරන ලදී. මේවා නිල කටයුතු සහ වෙනත් ප්‍රවෘත්ති පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා ආරම්භ කරන ලද්දකි. බ්‍රිතාන්‍ය යුගයේ මෙය රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නීත්‍යානුකූල වාර්තාවකි. අද මෙන්ම එදා රජයේ ප්‍රතිපත්ති, රෙගුලාසි සහ රජයේ නිවේදන රජයේ ගැසට් පත්‍ර හරහා ප්‍රකාශයට පත් කෙරිණි. පළමුවැනි ගැසට් පත්‍රය කොටස් කිහිපයකට බෙදා රජයේ දැනුම්දීම්, නැව් පැමිණීම හා නැව් පිටවීම, මගීන්ගේ නම් ලයිස්තු, එංගලන්ත පුවත්පත්වල වැදගත් විශේෂාංග වල සාරාංශ, ලංකාවේ කලා, විද්‍යා, වාණිජ තොරතුරු ද දක්වා තිබිණි. එකල ඉතා ස්වල්ප පුවත්පත් ප්‍රමාණයක් තිබූ බැවින් (ලංකාලෝකය, කලම්බු ජර්නල්, කලම්බු ඔබ්සර්වර්) පුවත්පත්වල කටයුතු පවා සිදු කරනු ලැබුවේ ගැසට් මගිනි.(වෙළඳ දැන්වීම්, දුම්රිය කාලසටහන) මේවා පර්යේෂකයන් හට වැදගත් වන්නේ රජයේ අධිකාරිය මීට ඇති බැවිනි.

දෙපාර්තමේන්තුව සතු වැදගත් ලේඛන කිහිපයක්.

ජාතික ලේඛනාගාරය ඓතිහාසික දැනුම් සම්භාරයක් පිරි ප්‍රාථමික මූලාශ්‍ර රාශියක් තැන්පත් වී ඇති මධ්‍යස්ථානයකි. මෙහි අඩංගු ලේඛන රටක සංස්කෘතිය, ආගම, දේශපාලනය, සමාජය, ආර්ථිකය, ආදී තොරතුරු හැදෑරීමට මහත් පිටිවහලකි. විවිධ පර්යේෂණ, අධ්‍යයන, විමර්ශන ආදී කාර්යයන්හි නිරත වන පුද්ගලයන් හට මූලාශ්‍ර සපයන තොරතුරු මධ්‍යස්ථානයක්  ලෙස ද මෙය ඉතා වැදගත් වේ. මෙහි පවතින ලේඛන අතරින් ඉතා වැදගත් ලේඛන කිහිපයක් පහතින් දක්වා ඇත.

ඉඩම් අයිතිය සම්බන්ධ ලේඛන 

භූමියෙහි අධිපතියා වූයේ රජු ය යන්න පුරාතනයේ පටන් පෙරදිග පිළිගත් සම්ප්‍රදාය විය. ඒ අනුව මෙරට වැසියන් හට රජුට කරනු ලබන සේවාව වෙනුවෙන් ඉඩම් ලබාදී තිබිණි. ඒවා ගබඩා ගම්, නින්දගම්, විහාරගම්, දේවාලගම්, නිදහස් ගම්, සහ කෝරලගම් වශයෙන් පැවතිණි. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යුගයන්හි දී එම විදේශිකයන් ගේ මව් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මෙරට භූමිය හා සම්පත් යොදා ගනු ලැබීය. එවකට පැවති සාම්ප්‍රදායික ඉඩම් භුක්තිය පෘතුගීසි හා ලන්දේසි යුගයන්හි දී ද ක්‍රියාත්මක වූ අතර ඉංග්‍රීසින් විසින් මෙම ක්‍රමය වෙනසකට බඳුන් කරමින් විවිධ අන්දමේ අණපනත් මගින් වැසියාගේ ඉඩම් තම පාලනයට නතු කර ගනු ලැබීය. මෙම තොරතුරු ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත්ව ඇති අතර එය ඉඩම් අයිතිය සම්බන්ධයෙන් ඉතා වැදගත් ලේඛන වේ.

පෘතුගීසි ෆෝරාල් පිටපත්, ලන්දේසි තෝම්බු, රජයේ සන්නස්, ධාන්‍ය  බදු ලේඛන, විහාර දේවාල ඉඩම් ලේඛන, ප්‍රවේණි / නිල පංගු ලේඛන පොත්, ඉඩම් පිළිබඳ තොරතුරු සහිත පුස්කොළ පොත් (හී ලේකම් මිටි), රජයේ ගැසට් පත්‍ර, විවිධ කච්චේරි හා රජයේ ආයතන වලින් ලබාගත් සිතියම්, පිඹුරු හා ඉඩම් සම්බන්ධ ලේඛන වලින් ඉඩම් පිළිබඳ තොරතුරු හා විස්තර මෙම දෙපාර්තමේන්තුව මගින් ලබා ගත හැකිය. ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව කිරිමේ දෙපාර්තමේන්තු ලේඛන මඟින් මගින් එක්දහස් අටසිය ගණන්වල එක්දහස් අටසිය ගණන්වල 1800 ගණන් වල වැදගත්කමක් sannas වලට හිමිවේ මේවායෙහි විහාරස්ථාන ගම් පුද්ගලයන් විවිධ පවුල් සඳහා ඉඩම් පැවරුම් sannas දැකගතහැකිය පරම්පරානුගත අයිතිය පෙන්වීමට මෙය වැදගත් වේ.

මෙම දෙපාර්තමේන්තුවේ දිනපතා මහජන විමසුමට ලක් වන, වැඩි වශයෙන් භාවිතයට ගැනෙන ලේඛන කාණ්ඩ අතර ඉඩම් සම්බන්ධ ලේඛන සඳහා ප්‍රමුඛත්වයක් හිමිවේ. එමෙන්ම ලංකා භූමිය තුළ පැවති සියළුම ඉඩම් අතරින් රජයේ ඉඩම් හා පෞද්ගලික ඉඩම් වෙන්කර හඳුනාගෙන නිරවුල් බිමක් බිහි කිරීමටද මෙම ලේඛන ඉවහල් වේ.

උඩරට කොමසාරිස් මණ්ඩලයේ වාර්තා

මහනුවර ශාඛාවේ තැන්පත් උඩරට කොමසාරිස් මණ්ඩලයේ වාර්තා ද මෙහිදී වැදගත්ය. මෙමගින් බ්‍රිතාන්‍ය පාලන කාලය තුළ දේශපාලනික, ආර්ථික, සමාජ, පරිපාලන, ආගමික තොරතුරු අධ්‍යයන සිදු කළ හැකිය. ජෝන් ඩොයිලි බ්‍රිතාන්‍ය යටත් විජිත ලේකම් සමඟ හුවමාරු කරගත් ලිපි වාර්තා මෙහි අඩංගු වටිනා ලේඛන වර්ගයකි.

මූල්‍ය ලේඛන 

රාජ්‍ය ආර්ථිකය සඳහා ඉවහල් වන, රාජ්‍ය ආයතනවල මූල්‍ය කටයුතු සම්බන්ධව බිහිවන ලේඛන සමුදායක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතී. මෙවැනි ලේඛන  සුරකින වැදගත් කෝෂ්ටාගාරයක් වශයෙන්ද මෙම ආයතනය වැදගත් වේ. මෙහි දී කච්චේරි ලේඛන සහ නගර සභා ලේඛන වැදගත් වේ. එහි දී මහනුවර ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු කච්චේරි ලේඛන තුළින් පොදුවේ බ්‍රිතාන්‍ය රජය සෑම දිස්ත්‍රික්කයකින් ම ආදායම් එකතු කරගත් ආකාරය හා වියදම් කළ ආකාරය පැහැදිලි වේ. ඒවායේ වගා කිරීම සඳහා රජය සන්තක ඉඩම් විකිණීම, ඉඩම් බදු දීම, අරක්කු රේන්ද බලපත්‍ර නිකුත් කිරීම, තුවක්කු බලපත්‍ර නිකුත් කිරීම, තුවක්කු විකිණීම හා අලුත් කිරීමෙන් ලැබෙන ආදායම්, නීතිවිරෝධී කටයුතු වලින් අයකළ දඩමුදල්, තොටුපොළ බදු හා මාර්ග බදු ආදිය මෙම ලේඛන වල අඩංගු වේ. එපමනක් නොව මෙම ලේඛනවලින් සුසාන භූමි වලින් ලැබුණු ආදායම් පවා ප්‍රකට වේ. අලි ඇතුන් ඇල්ලීමෙන් ලද ආදායම, නගර සභා පාලනය කළ ආකාරය, මහනුවර නගරයේ පරිපාලනය, මූල්‍ය කටයුතු, වරිපණම් බදු, ගොඩනැගිලි, ජල සැපයුම්, මහනුවර වැව, බෝගම්බර වැව ආදී තොරතුරු මෙම ලේඛන තුළින් ලබාගත හැකිය. කුරුණෑගල කච්චේරි ලේඛන වල කලෙක්ටර්වරු පත්කිරීම පිළිබඳ ලිපි ඇතුලත් ය. එමෙන් ම රාජ සන්තක ඉඩම් වෙන්දේසිය හා විකිණීම පිළිබඳව ද තොරතුරු දැක්වේ. කච්චේරි ලේඛන තුළින් දිසාපතිවරුන්ගේ වාර්තා වඩා වැදගත් වේ. විධිමත් පාලනයක් එකල පැවති බව තහවුරු වේ. හත්සියයකට අධික දිසාපතිවරුන්ගේ දිනපොත් මහනුවර ශාඛාවේ තැන්පත්ව ඇත.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය 


මහනුවර ශාඛාව ලේඛන කාණ්ඩ විස්තරය

ආරියරත්න, යූ. ලසිකා, 2017. ජාතික ලේඛනාගාරය හා මූල්‍ය ලේඛන, "ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සමරු කළඹ", කොළඹ :  ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව.

මුතුවත්ත, ප්‍රේමා, 2005. "අනාගතයේ ලේඛන වලට විය හැකි ආපදාවන් පිළිබඳව අවදියෙන් සිටීම ලේඛනාරක්ෂක යෙකුගේ වගකීම වේ." ව්‍යසනයට පෙර ලේඛන සුරකිමු, කොළඹ : ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව.

විමලරත්න, කේ.ඩී.ජී, 2016. "මූලාශ්‍ර හා ඓතිහාසික සම්ප්‍රදායේ විකාශය", ශ්‍රී ලාංකේය ඉතිහාසය, (සංස්.) ඩබ්ලිව්. එම්. කේ. විජේතුංග, කොළඹ: ඇම්.ඩී. ගුනසේන සහ සමාගම.

විමලරත්න, කේ.ඩී.ජී,2015. ලේඛන සහ අධිලේඛන, නුගේගොඩ : සරසවි ප්‍රකාශකයෝ.

වෙත්තසිංහ, සරෝජා,2014. ඉඩම් අයිතිය සුරකින අධිලේඛන, කොළඹ : ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව.

වීරසිංහ, ඩබ්ලිව්.කේ.එම්.කේ, 2021. පුස්තකාල ඉතිහාසය, කතෘ ප්‍රකාශන.

වීරකෝන්, හිමාලි, 2005." ජාතික ලේඛනාගාරයේ තැන්පත් ලේඛන චිරාත් කාලයක් පැවතිය යුතුය", ව්‍යසනයට පෙර ලේඛන සුරකිමු, කොළඹ : ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව.

වීරකෝන්, හිමාලි, 2023.03.01. "ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සහ ක්‍රියාත්මක නීති රීති", දේශක සටහන්, සූම් තාක්ෂණය.

වීරකෝන්, හිමාලි,2023.03.11. "පර්යේෂණ සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් ලේඛන යොදා ගැනීම" ,දේශක සටහන්, සූම් තාක්ෂණය.


https://www.archives.gov.lk/web/index.php?option=com_thombu&Itemid=194&lang=si


https://thevanaesa.blogspot.com/2021/04/identification-of-source-for-study-of.html


https://www.sundayobserver.lk/2017/10/15/focus/ceylon-blue-books


https://www.lankadeepa.lk/Rasawitha /57-587871

No comments:

Post a Comment

මහනුවර ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පිළිබඳ ඓතිහාසික අධ්‍යයනයක්.

 ජේ. ඒ. ටී.අයි.මදුෂාණි  BA /  M.phil (History) University of peradeniya. 2024/12/21 ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙහි ආරම්භය.              ...