![]() |
අතීතයෙහි අප රටෙහි ජීවත් වූ මිනිසුන් තම ජීවනෝපාය සඳහා විවිධ ආර්ථික කටයුතු වල නිරත විය. එම ජීවන වෘත්තීන් පොදුවේ කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, වෙළඳාම හා විවිධ කර්මාන්ත වශයෙන් වෙන් වෙන්ව සාකච්ඡා කළ හැකිය.
කෘෂිකර්මාන්තය හා සත්ත්ව පාලනය එකට බැඳී තිබූ ආර්ථික ක්‍රියාවලියක් විය. ගොවිතැනට අවශ්‍ය පොහොර, සී සෑමට අවශ්‍ය ගවයන් ලබා ගැනීම සඳහා කෘෂිකර්මාන්තය සමගම සත්ත්ව පාලනය ද සිදු කෙරිණි. මෙනිසා කෘෂිකර්මාන්තය යටතේ සත්ත්ව පාලනය ද එකට බද්ධව පවතී. මීට අමතරව විවිධ කර්මාන්ත හා වෙළඳාම ද මෙරට ආර්ථිකයෙහි ප්‍රධාන තැනක් ගන්නා ලදී.
කෘෂිකර්මාන්තය
අතීතයේ අප රටෙහි ජීවත් වූ මිනිසුන් තම වාසස්ථාන පිහිටුවාගෙන සිටියේ ගම්මාන වල ය. වර්තමානයේ ජීවත් වෙන මිනිසුන්ගේ මෙන් නොව ඔවුන්ගේ අවශ්‍යතාවන්, සිතුම් පැතුම් ඉතාමත් සරල විය. ඔවුන්ට පැවති ලොකුම අභියෝගය වූයේ යැපීම සඳහා අවශ්‍ය ආහාර පාන සම්පාදනය කර ගැනීම යි. මෙනිසා බොහොමයක් දෙනා තම ජීවනෝපාය වශයෙන් කෘෂිකර්මාන්තය තෝරා ගත් හ. කෘෂිකර්මාන්තය ද ගොඩ ගොවිතැන සහ මඩ ගොවිතැන යනුවෙන් නැවත කොටස් දෙකක් යටතේ අධ්‍යයනය කළ හැකි ය. ගොඩ ගොවිතැන වශයෙන් හඳුන්වන්නේ හේන් වගාව යි. මඩ ගොවිතැන වශයෙන් හඳුන් වන්නේ කුඹුරු වගාව යි. මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ කුඹුරු වගාව වර්ෂා ජලයෙන් සහ වාරි මාර්ග මගින් ජලය ලබා ගෙන පවත්වා ගෙන යන වගා ක්‍රමයක් වීම යි. එහෙත් හේන් වගාව වර්ෂා ජලය මූලිකව පවතී.
හේන් වගාව.
හේන් වගාව හෙවත් ගොඩ ගොවිතැන පුරාතන ජනයා තම යැපීම සඳහා අවශ්‍ය අල, බතල, මඤ්ඤොක්කා, එළවලු, පළා වර්ග, පළතුරු, ධාන්‍ය වර්ග ලබා ගත් ගොවිතැන් ක්‍රමයයි. හේන් වගාව ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද පැරැණිතම වගා ක්‍රමය වශයෙන් සැලකේ. කැලෑ ගිනි තබා එළිපෙහෙළි කර සකස් කරගන්නා ලද බිමක් හේනක් වශයෙන් හැඳින්වේ. උම්මග්ග ජාතකය ආදී සාහිත්‍ය මූලාශ්‍ර වල සේන් යනුවෙන් ද, සෙල්ලිපි වල පිට බිම් යනුවෙන් ද හේන් හඳුන්වා ඇත. හේනක් සඳහා තෝරා ගැනෙන්නේ මහ කැලයේ පවතින බිම් කොටසකි. හේනක් පිහිටා තිබුනේ ගමට තරමක් දුරින් ය. පුරාතන ගමෙහි සැලැස්ම තුළින් මේ බව තව දුරටත් අවධාරණය කර ගත හැකි ය.
(ආදිතම මානවයා ස්වාභාවිකව හට ගන්නා ලැව් ගිනි අත් දකින්නට ඇති අතර එසේ ඇති වූ වනාන්තර ගිනි ගැනීම් වලින් පසුව කලකදී ඇති වන වර්ෂාවෙන් පසු එම පොලොවෙහි හට ගන්නා බෝග ඉතා සශ්‍රීකව වැඩෙන බව අත්විඳින්නට ඇත. එම අත් දැකීම හේන් වගාවෙහි ආරම්භය බව ඇතැම් උගතුන්ගේ මතයයි.)
ආදිතම මානවයා දඩයම හා වන ද්‍රව්‍ය (අල, පළා, ගෙඩි, මුල් ආදී) එක් රැස් කර තැනින් තැන ගමන් කළ අතර පසුකාලීනව ඔවුන්ට ඇති වන ස්වාභාවික උපද්‍රව හේතුවෙන් ගල් ගුහා ආදී වාසස්ථාන බිහි කර ගන්නා ලදී. එවිට ඔවුන් තමන්ට අවශ්‍ය සතුන් හා ධාන්‍ය,එළවලු පලතුරු, අල වර්ග ආදී වන ද්‍රව්‍ය තම වාසස්ථානය ආශ්‍රිත පවත්වාගෙන යාමට හුරු විය.එය ශාක හා සත්ත්ව ගෘහාශ්‍රිතකරණය නමින් හැඳින්වේ.ඒ අනුව මුල් වරට යැපීම සඳහා සුදුසු ධාන්‍ය ආදිය එක් රැස් කරගත් මිනිසා කැලෑ ගිනි තබා රිටකින් හෝ අතින් එම පොලොවෙහි ධාන්‍ය වැපිරීම හෝ සිටුවීම සිදු කිරී ය.මෙය ලෝකයෙහි හේන් වගාවෙහි ආරම්භය වේ.මඩ ගොවිතැන ආරම්භ වූයේ ඉන් බොහෝ කාලයකට පසුවයි.
ආදිතම මානවයා දඩයම හා වන ද්‍රව්‍ය (අල, පළා, ගෙඩි, මුල් ආදී) එක් රැස් කර තැනින් තැන ගමන් කළ අතර පසුකාලීනව ඔවුන්ට ඇති වන ස්වාභාවික උපද්‍රව හේතුවෙන් ගල් ගුහා ආදී වාසස්ථාන බිහි කර ගන්නා ලදී. එවිට ඔවුන් තමන්ට අවශ්‍ය සතුන් හා ධාන්‍ය,එළවලු පලතුරු, අල වර්ග ආදී වන ද්‍රව්‍ය තම වාසස්ථානය ආශ්‍රිත පවත්වාගෙන යාමට හුරු විය.එය ශාක හා සත්ත්ව ගෘහාශ්‍රිතකරණය නමින් හැඳින්වේ.ඒ අනුව මුල් වරට යැපීම සඳහා සුදුසු ධාන්‍ය ආදිය එක් රැස් කරගත් මිනිසා කැලෑ ගිනි තබා රිටකින් හෝ අතින් එම පොලොවෙහි ධාන්‍ය වැපිරීම හෝ සිටුවීම සිදු කිරී ය.මෙය ලෝකයෙහි හේන් වගාවෙහි ආරම්භය වේ.මඩ ගොවිතැන ආරම්භ වූයේ ඉන් බොහෝ කාලයකට පසුවයි.
අද පවතින කුඹුරු වගාව අතීතයේ පැවතියේ හේන් වගාවක් ලෙස යි.එලෙස හේන් වල වගා කළ වී ඇල් වී යනුවෙන් හඳුන්වනු ලබයි. ඇල්වී වගා කළ කෙත් හෙවත් හේන් ඇල් හේන් යනුවෙන් හඳුන්වා ඇත. සද්ධර්මාලංකාරයෙහි එන සාලිරාජ කථා වස්තුවෙහි සාලිය කුමාරයාට එම නම තැබූවේ සාලි බන්ධුව උපන් බැවින් යැයි සඳහන් වේ. එහි අර්ථය ඇල් වියෙහි නෑදෑයා යන්නයි. ඔහු උපන් පසු ලංකාවේ ඇල් වී බහුලව පැවති බව එම ග්‍රන්ථයෙහි සඳහන් වේ. සීහළවත්ථු නම් ග්‍රන්ථයෙහි ද මේ පිළිබඳව සඳහන් වේ. ඒ අනුව සාලි යනු ඇල් වී වලට තවත් නමකි.ඇල් වී ඇතැම් අවස්ථාවන්හි අතීතයේ කුඹුරු වලද වගා කර ඇත. ඇල් වී වර්ග කිහිපයක් ලෙස රත් ඇල්, බිබිළි ඇල්, ඉඳි ඇල්, ඇඹුල ඇල්, ඇල් කඳු, ගෝනබරු, සුවඳැල්, හඳුන්වා දිය හැකිය.
මහාවංසයෙහි 23 වෙනි පරිච්ඡේදයෙහි හේන් වගාව සම්බන්ධ කතා පුවතක් කාවන්තිස්ස රාජ්‍ය සමය තුළින් අනාවරණය වේ. එහි දැක්වෙන්නේ, ගිරි නම් ජනපදයෙහි නිසෙල්විටි නම් ගමේ මහානාග නම් පුද්ගලයාට ඇතුන් දස දෙනෙකුගේ බලය ඇති එහෙත් මිටි සිරුරක් ඇති ගෝඨක නම් පුතෙක් විය. ගෝඨක ට තවත් වැඩිමහල් සහෝදරයන් සිව් දෙනෙක් විය. ඔවුන් සිව් දෙනා මිටි සිරුරක් ඇති ගෝඨකට නිතර උසුලු විසිලු කළ අතර දිනක් ඔවුන් සිව් දෙනා උඳු හේනක් වැපිරීම සඳහා මහ කැලේ කොටා ගෝඨකට කොටසක් ඉතිරි කර ඒ බව ගොස් ඔහුට පැවසීය. ගෝඨක ද එහි ගොස් ඉඹුරු නම් ගස් ගලවා දමා භූමිය සමතලා කර ගොස් වැඩිමහල් සහෝදරයන්ට පැවසීය. ඒ පුදුම සහගත ක්‍රියාව දුටු සහෝදරයෝ කාවන්තිස්ස රජුට මේ බව දැන්වීය.මෙනිසා ඔහු ගෝඨයිම්බර නමින් හැඳින්වී ය. කාවන්තිස්ස රජු ඔහුවද දුටුගැමුණු කුමාරයා වෙත යැවී ය. මෙයින් කියවෙන්නේ ගෝඨයිම්බර යෝධයා හමු වූ පුවත වුවත් එහි හේන් වගාව සිදුකල ආකාරය සඳහන් වීම නිසා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් පුවතක් වශයෙන් සැලකිය හැකි ය.
හේන් කෙටිම ආරම්භ කිරීම කිසිවකුගේ හිතුමනාපයට කළ හැක්කක් නොවේ. ගමේ ප්‍රධානියාගේ මූලිකත්වයෙන් හේන් කොටන සියලුදෙනා එකතු වී සම්මුතියකට එළැඹිය යුතුය. අතීතයේ අලුතින් විවාහ වූ තරුණ යුවලකට ගම් ප්‍රධානියාගෙන් හේන් කෙටීම සඳහා අවසර හිමි වේ.
හේන් වගාව සිදු වූයේ වර්ෂා ජලයෙනි. හේනක් සකස් කර ගැනීම සුළුපටු කාර්යයක් නොවී ය. මේ සඳහා ඉතා වෙහෙස මහන්සි වි කටයුතු කළ යුතු විය. හේනක් කෙටීම එක් ගොවියෙකුගේ හෝ සාමූහික කිහිප දෙනෙකුගේ ශ්‍රමයෙන් සිදුවී ඇත.හේනක් වගා කළ ආකාරය පිළිවෙලින් මෙසේ ය.
1.හේනක් සකස් කර ගැනීම සඳහා සුදුසු බිමක් තෝරා ගැනීම.
2.කැළය කපා සුද්ද පවිත්‍ර කර හේන ගිනි තැබීම.
3.දැව දඬු ආදිය පුලුස්සා බිම සකස් කිරීම.
2.කැළය කපා සුද්ද පවිත්‍ර කර හේන ගිනි තැබීම.
3.දැව දඬු ආදිය පුලුස්සා බිම සකස් කිරීම.
එහිදී හේන් කපන කැළය තේරීම, ආරම්භ කරන වෙලාව නියම කිරීම, නැකැත් බැලීම ආදි වත් පිළිවෙත් රාශියකින් පසුව හේන් කෙටීම සඳහා කැලයට පිවිසේ. සුදුසු නැකතක් බලා අඩවිය භාර දෙවියන්ට භාරහාර වී වැඳ නමස්කාර කර දේව ආශිර්වාදය ලබා ගෙන වැඩ ආරම්භ කළ යුතු වේ.
ස්වාභාවික පරිසරයට ආදරය කළ පුරාතන ගැමියෝ තමාගේ අවශ්‍යතාවයට පමණක් පරිසරය ප්‍රයෝජනයට ගත්හ. ඔවුන් සෑමවිට පරිසර හිතකාමී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළ ආකාරය හේන් ගොවිතැනෙන් ද විවරණය වේ. හේන කැපීමේදී රූස්ස, දැවැන්ත ගස් කපා බීම දැම්මේ නැත. කැපිය යුතු නොකැපිය යුතු ගස් කවරේදැයි සම්මතයක් ගොවීන් අතර පැවතිණි. එපමණක් නොව හේන කපන්න පටන් ගන්නා විට නැකතින් පළමුව කැපිය යුතු යැයි නුවර කලාවියේ සම්මතයක් ද ඇත.
හේන් කෙටීම ආරම්භ කරන කාලය වන විට ගමේ කම්මලට ද වැඩ වැඩි වේ. වක් කැත්ත, අත් පොරොව, පිහිය හේන් කෙටීමට අත්‍යවශ්‍ය ආයුධ වේ. මිට අමතරව දෑකැත්ත අස්වැන්න නෙලන කාලයේ දී වැදගත් වේ. කැලයේ දී ඇති වන අපහසුතා හේතුවෙන් ගෝනහම් හෝ මුවහම්වලින් තැනු සෙරෙප්පු ජෝඩුවක් ද අවශ්‍යය. තම තමන්ට අයිති හේන් කොටස තමා විසින්ම හෙළිපෙහෙළි කර ගන්නේ නැත. මුළු හේන් යායම එකට කැලය කපා ගිනි තබා තම තමන්ගේ හේන්වල මායිම් ලකුණු කෙරේ. හේන් කැපීමෙන් පසු අක්වස්ස ඒමට පෙර හේන් ගිනිලෑම කළ යුතුය. එහිදී යායේ සියලු ගොවින් එකතු වී සුබ වෙලාවක් තීරණය කළ යුතුව ඇත. හේන ගිනි ලෑමට පෙර හේනේ සිටින අපා, දෙපා, සිව්පා මෙන්ම කුරා කුහුඹුවන් පවා ඉවත් කරනු ලැබේ. ඒ සඳහා සතුන්ට ඉවත්ව යන ලෙස මෙසේ කන්නලව් කරනු ලැබේ. මෙය ගිනි යාතිකාව නමින් හඳුන්වයි. "බඩගාන සතුන් ද, කුරගාන සතුන් ද, පියාඹන සතුන් ද, අලහිටි, පළඟැටි මැස්සෝ ද මේ ගිනි දේවතාවුන් වහන්සේට බිලි නොවී අප කරන්නා වූ හේන් පොළෙන් සිය මණ්ඩලයෙන් අයින්වෙලා යන්න යහපති ආයුබෝ " ඉන්පසු සිහින් වැලි මිටක් ගෙන හුළඟට මුසු කර හුලං හමන දිසාව බලා ගොවියෝ හුලං හමන අත අනුව ගිනි තබනු ලැබේ.
හේන් ගිනි ලෑමෙන් දින කිහිපයකට පසු වගාව සඳහා බිම් සකස් කිරීම ආරම්භ වේ. අක් වැස්සට පෙර හේනේ භෝග සිටුවීම සඳහා බිම් සකස් කර අවසන් කළ යුතු වේ. දැවී නොගොස් ඉතිරි වී ඇති දැව දඬුවලින් දඬුවැටට සහ පිට වැටට අවශ්‍ය ලී තෝරා ඉවත් කර ඉතිරි සියලු ලී කැබලි කට මැල ගසා පුලුස්සනු ලැබේ. අක්වැස්සත් සමඟ භෝග සිටවීම ආරම්භ කරනු ලබයි.
හේන් වල කටුසර භෝග වැවීම සාමාන්‍යයෙන් සිදු වේ. බඩ ඉරිඟු වැනි බෝග හේන පුරාම සිටුවීම සිදු වේ. හුඹස් වටේට සහ උස් බිම්වල කුරක්කන් වපුරනු ලැබේ. ගස් පිලීස්සුණ සහ කැටමැල පිලිස්සු ස්ථානවල වට්ටක්කා හිටවනු ලබන අතර අලුගොඩවල්වල තම්පලා වපුරනු ලබයි. ඉන්පසු තල, මෙනේරි, මුං කව්පි, උඳු, කොල්ලු,වැනි ධාන්‍ය වර්ග මෙන්ම, කැකිරි, කරවිල, වට්ටක්කා, වැටකොළු, බණ්ඩක්කා වැනි එළවළු වර්ග ද තැනින් තැන සිටවනු ලබයි.
අතීතයේ කපු, උක්, තල හේන් වගාවේ දී ප්‍රමුඛ විය. පොල් තෙල් භාවිතය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා කරන ලද්දේ තල තෙල් ය. කුවේණිය කපු කටිමින් සිටි පුවතින් කපු වගාව මෙරට පැවති බව තහවුරු වේ. එකල සාමාන්‍ය ජනයා කපු ඇඳුම් ද රාජකීය හා උසස් පවුල් වල පුද්ගලයන් කසී සලු හා පට පිලී ඉන්දියාවෙන් හා චීනයෙන් ගෙන්වා භාවිතා කළ බවද සඳහන් වේ.
පැරණි හේන් වගාවේ ඇති විශේෂත්වය නම් රසායනික පොහොර හෝ කෘමිනාශක භාවිත නොකිරීමයි. භෝග සිටුවා වැස්සක් දෙකක් වැටී සති දෙක තුනක් ගත වන විට මුළු හේන් යායම හරිත වර්ණයෙන් බබලන්නේය.. "නව දැලි හේනේ නිල්ල ගැහුවා වගේ යැයි "කියන්නේ මේ තත්වයටයි. එය ගොවියාගේ සිත් සතන් සතුටු කරන දර්ශනයකි. ඊළඟ භාරධූර කාර්යය වන්නේ වගාව සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමයි. ශක්තිමත් දඬුවැටක් සහ එයට පිට පැත්තෙන් පිටවැට ඉදිකිරීම වගාව ආරක්ෂාව සඳහා කරන පළමු කාර්ය වේ.
එසේ වුවත් අලියා සහ වල් ඌරා වැනි සතුන් වැටේ දුර්වල ස්ථාන කඩාගෙන හේනට ඇතුළු වන අවස්ථා පවතී. එම නිසා හේනට එන වන සතුන් පලවා හැරීම සඳහා හේනට පැලක් ඉදිකිරීම අත්‍යාවශ්‍ය වේ. හේන් ගොවියාට වගාව ආරක්ෂා කර ගැනීමට සිදු කළ යුතු අපහසුම කාර්යය පැල් රැකීමයි.ගොවිතැන් ආරක්ෂා කර ගැනීම සඳහා පැල් රැකීම අත්‍යවශ්‍ය වූ බව විශුද්ධිමග්ග අටුවාවේ ද සඳහන් වේ. හේනේ සිව් දිසාවම නිරීක්ෂණය කළ හැකි පරිදි හේන මැද පැළ තනනු ලබයි. හේනේ ඉදි කරන පැල් වර්ග දෙකකි. එනම්, අලින්ගෙන් සිදු විය හැකි ජිවිත ගැන සලකා ගහක් මත තනන පැල් එක් වර්ගයකි. අනෙක් පැල් වර්ගය කණු හතරක් මත ඉදි කරන සාමාන්‍ය පැලයි. පැලේ විශේෂත්වයක් වන්නේ හේනට එන වනසතුන් පලවා හැරීමට ශබ්දය ඇති කිරීමට සකස් කර ඇති දඩු කඳයි.
සතුන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීම සඳහා පුරාණ හේන් ගොවියා සරල මෙවලම් කීපයක්ම භාවිත කර ඇත.හොල්මන ඉන් එකකි. හේලන්ගාව නැත්නම් ටකපෝරුව ලෙසත් සමහර පළාත්වල මෙය හඳුන්වයි. මෙයට පරණ යකඩ කැබලි, ටින් කබල් එල්ලා ඇති නිසා සුළඟට පැද්දෙන විට පැය විසි හතර පුරාම ශබ්දයක් නිකුත් වේ. මෙම ශබ්දයට සතුන් බිය ගෙන පලා යයි. මේ හැර හබක, උගුල්, ගල් දුන්න ආදි සරල උපක්‍රම භාවිත කරනු ලබයි. පැල් කවි කීම හේනට එන සත්තු පලවා හැරීමේ ද එක් උපක්‍රමයකි. නින්ද යෑම වැළැක්වීමට ද පැල් කවි ගායනය ප්‍රයෝජනවත් වේ. ඊට අමතරව රාත්‍රියෙහි ගිනි මැල ගැසීමෙන් වන අලි හා වල් ඌරන් පලවා හැරිණ.
මාස තුනක පමණ කාලයක් දහසක් දුක් කරදර මැද රැකගත් අස්වැන්න කපා ගෙට ගන්න කල් ගොවියාට ඉස්පාසුවක් නැත. තම අස්වැන්න නෙළා ගන්නේ ද සුබ නැකතකට අනුවය.
පුරාතනයේ හේන් හැඳින් වූ නම් කිහිපයක් තිබිණි. එයින් පළමු තැන හිමි වූයේ නවදැලි හේනටයි. මෙයින් අදහස් වන්නේ කැලය අලුතින් කපා ගිනි දමා භූමිය සකස් කර වගා කිරීමයි. මේ බිම ඉතා සාරවත් නිසා වගාව සරුවට වැඩේ. හේන් කනත්ත නමින් තවත් හේන් වර්ගයකි. අතහැර දැමූ හේන් මේ නමින් හැඳින් වේ. මෙහිදී සිදුවන්නේ කලින් මූකලන් කැලය කපා වගා කළ හේන් වසර දෙක තුනකට පසු යළිත් හීන් කැලය කපා වගා කිරීමයි. අත්දඬුවා හේන් නමින් තවත් හේන් වර්ගයක් ඇත. එයින් අදහස් කරන්නේ කලින් හේන් වගා කර අස්වැන්න ලබා ගෙන අත්හැර දැමූ බිමෙහි යලිත් අත්ගොබ තරමට මහත ගස් වැඩුණු පසු නැවතත් එම ගස් කපා හේන් වගා කිරීමයි. මූකලන් හේන, පිටිය හේන ද එවැනි පැරණි හේන් උදාහරණ වේ. වැව්ගම්පත්තුවේ, වෙල්ලස්ස බින්තැන්නේ, ගිරුවාපත්තුවේ මෑතක් වන තුරුම හේන් වගාව සරුවට කෙරිණි.
හේන් වගාවේ කාල සටහන
1.ජුලි , අගෝස්තු මුල් සතිය ( කැලෑ එළි කිරීම.)
2.අගෝස්තු අවසාන සතිය.(කැලෑ පිලිස්සීම )
3.සැප්තැම්බර් මුල් සතිය ( වැට සෑදීම)
4.සැප්තැම්බර් දෙවන සතිය (බිම් සැකසීම)
5.ඔක්තෝම්බර් (බීජ සිටුවීම)
6.ජනවාරි සිට මාර්තු (අස්වැන්න නෙලීම)
2.අගෝස්තු අවසාන සතිය.(කැලෑ පිලිස්සීම )
3.සැප්තැම්බර් මුල් සතිය ( වැට සෑදීම)
4.සැප්තැම්බර් දෙවන සතිය (බිම් සැකසීම)
5.ඔක්තෝම්බර් (බීජ සිටුවීම)
6.ජනවාරි සිට මාර්තු (අස්වැන්න නෙලීම)
හේන් වගාවෙන් බදු අය කළ බවට සාධක පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ්‍ය සමයෙන් හෙළිදරව් වේ. එතුමා සෙහෙන් කටුසර අය නම් බද්දක් ඉවත් කළ බව සඳහන් වේ. ඒ අනුව පුරාතනයේ හේන් වගාව ඉතා සශ්‍රීකව පවතින්නට ඇතැයි සිතිය හැකිය.
මේ ආකාරයට පුරාතන ලංකාවේ පැරණිතම වගා ක්‍රමය වන හේන් ගොවිතැන අද දක්වාත් ලංකාවේ ඇතැම් ප්‍රදේශයන් හි නොනැසී ක්‍රියාත්මක වේ.
ජේ. ඒ. ටී. අයි. මදුෂාණි
ඉතිහාසය අධ්‍යයන අංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
No comments:
Post a Comment