Saturday, June 1, 2024

පුරාතන ඉන්දියාවේ ගණ රාජ්‍ය සංකල්පය


පුරාතන ඉන්දියාවේ දේශපාලන තන්ත්‍රය දෙස අවධානය යොමු කිරීමේදී ක්‍රි. පූ. 6 වන  සියවසේ දී පමණ සොලොස් මහා ජනපද නමින් හැඳින්වුණු යුගයක් පිළිබඳ ජෛන හා බෞද්ධ සාහිත්‍ය කෘතිවල සඳහන් වේ. ක්‍රි. පූ. 6 වන සියවස වනවිට මහා ජනපද බිහිව තිබුණේ නම් ඒවායේ හැඩගැසීම ඊට සෑහෙන තරම් ඈත කාල වකවානුවකට දිවෙන බව සිතිය හැකි ය. එහෙත් පශ්චාත් වෛදික සාහිත්‍යයෙන් ලැබෙන තොරතුරු හැර වෙනත් තොරතුරු ලැබෙන මූලාශ්‍ර මෙහිදී හඳුනාගත නොහැක. පුරාණ ග්‍රන්ථ වලින් ලැබෙන නොපැහැදිලි තොරතුරුද පෙළගැස්වීම බෙහෙවින්ම අපහසුය. 


උත්තර භාරතීය සමාජයේ අතිශය වැදගත් අවශ්‍යතාව වූයේ පටු සීමාවන්ගෙන් මිදුණු දේශපාලන තන්ත්‍රය කි. මේ දේශපාලන තන්ත්‍රය සකස් වූයේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි තොරතුරු නැතත් විවිධ මූලාශ්‍ර වලට අනුව ඒවා නම් වශයෙන් හැඳින ගත හැකිය. මේවා සොලොස් මහා ජන පද යනුවෙන් හැඳින්වේ. අංගුත්තර නිකායෙහි සඳහන් වන අයුරු සොළොස් මහා ජනපද මෙසේය. අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේදි, වත්ස,  කුරු, පංචාල, මත්ස්‍ය, සුරසේන, අස්මක, අවන්ති, ගාන්ධාර, කාම්බෝජ යන්නයි. දීඝ නිකායේ ජනවසභ සූත්‍රයෙහි මේ ජනපද "අංග - මගධ", "කාසි - කෝසල" ආදී වශයෙන් යුගල ලෙස දක්වා තිබේ. ජෛන භාගවත සූත්‍රයෙහි ද සොළොස් ජනපදයක් දක්වා ඇතත් එහි සමහර වෙනස්කම් දැක ගත හැකිය. ඒ අනුව එහි දැක්වෙන ජනපද 16 මෙසේය. අංග, වංග, මගධ, මලය, මාලව, අච්ච, වච්ච, කොච්ච, පඪ, ලාඪ, බජජී, මෝලී, කාසී, කෝසල, අවාහ, සම්භූත්තර ලෙසය. පුරාණ ග්‍රන්ථවල මෙවැනි රාජ්‍ය පැවැත්මක් ගැන සඳහන් නොවේ. 


බෞද්ධ සාහිත්‍යය තවදුරටත් පරීක්ෂා කරන විට බුදුන් වහන්සේ ගේ කාලයේ උතුරු ඉන්දියාවේ ජීවත් වූ තවත් ස්වාධීන ජන කණ්ඩායම් රාශියක් පිළිබඳ තොරතුරු ලබාගත හැකිය. කපිලවස්තු පුර ශාක්‍යයෝ, පාවානුවර හා කුසිනාරාවේ මල්ලයෝ, වේසාලියෙහි ලිච්චවීන්, මිථිලාවේ වේදේහයෝ, රාම ග්‍රාමයේ කෝලියෝ, අල්ලකප්පයෙහි බූලීවරු, කේශපුත්තයේ කාලාමයෝ, පිප්ඵලී වනයේ මෝරියෝ සුංසුමාරගිරියේ භග්ගයෝ මෙසේ සඳහන් ජන කණ්ඩායම් වෙති. පාණිනීගේ ව්‍යාකරණ ග්‍රන්ථයෙහි එන තොරතුරු අනුව එකල පැවැති රාජ්‍ය කොටස් දෙකකට බෙදා දක්වා ඇත. "සංඝ" හෝ "ගණ" නමින් හැඳින්වෙන රාජ්‍ය ලෙස දක්වා ඇත්තේ ශුද්‍රක, මාලව, අම්බෂ්ඨ, හස්තිනායක, ප්‍රකණ්ව, මදුමන්ත, මද්‍ර, ආප්‍රීත, වසාති, භාග්ග, සිඛී, ආසවායන, ආශ්වකායන යන රාජ්‍ය වේ. සංඝ හෝ ගණ නමින් හඳුන්වා ඇත්තේ සමූහාණ්ඩු පාලනයක් පැවති ප්‍රදේශය. මෙම රාජ්‍යවලින් රාශියක් ක්‍රි.පූ. 4 වන සියවස තෙක් පැවති බවත් ඇලෙක්සැන්ඩර් වයඹදිග ඉන්දියාව ආක්‍රමණය කරන අවස්ථාවේදී මෙම ගෝත්‍රික රාජ්‍යවලින් බරපතළ විරෝධයක් එල්ල වූ බවත් ග්‍රීකයන්ගේ වාර්තාවලින් පෙනේ. පාණිනී ජනපද වශයෙන් හඳුන්වන්නේ රජුන් විසින් පාලනය වූ ප්‍රදේශය. ඒවානම්, ගාන්ධාර, අවන්ති, කෝසල,  විදේහ, මගධ, අංග හා වංග වේ. විවිධ මූලාශ්‍ර වලින් ලැබෙන ඉහත සඳහන් කළ තොරතුරු වලින් පෙනෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවස හෝ ඉන් පෙර වකවානුව වන විට උතුරු ඉන්දියාවේ රාජ්‍ය වශයෙන් හැඳින්විය හැකි ප්‍රදේශ රාශියක් පැවති බවය. මේ රාජ්‍ය ප්‍රමාණ වශයෙන් පමණක් නොව ඒවායේ පැවති රාජ්‍ය පාලන තන්ත්‍රය අතින් ද වෙනස් විය. කෙසේ වෙතත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන තොරතුරු අනුව ක්‍රිස්තු පූර්ව 6 වන සියවස වන විට දේශපාලන ක්ෂේත්‍රයෙහි වැදගත් තැනක්  ගෙන තිබුනේ රාජ්‍ය හතරක් පමණි. එනම් මගධ, කෝසල, වත්ස, අවන්ති  යන රාජ්‍යයි.


මෙම සියලු රාජ්‍යයන්හි පාලනය දෙයාකාරයකට  ක්‍රියාත්මක විය. එනම්,

  • රාජාණ්ඩු පාලන ක්‍රමය 

  • ගණතන්ත්‍ර පාලන ක්‍රමය වශයෙනි.


රාජාණ්ඩු එක් රජෙකු යටතේ පාලනය වූ අතර සමූහයකගේ සහභාගිත්වය ඇතිව පාලනය වූ ජනපදවල ගණ තන්ත්‍ර පාලන ක්‍රමය විය. 

  

උගතුන්ගේ මතවාද


ඉන්දියාවේ දේශපාලන දාර්ශනිකයන් සියලු දෙනා පාහේ අවධානය යොමු කරන ලද මාතෘකාවක් වූයේ ගංගා යමුනා තැනිතලාවේ වර්ධනය වූ රජුන් මුල්කරගත් පාලන සංවිධාන ගොඩනැගීමට මුල් වූ පාලන ක්‍රම කෙරෙහිය. එහිදී කතිපයාධිපති පාලන සංවිධාන කෙරෙහි ද ඔවුන්ගේ අවධානය යොමු විය. මෙහිදී ගණතන්ත්‍ර වාදය  පැවති ප්‍රදේශ පැරණි ඉන්දියාවේ වූ බවට බොහෝ උගතුන් විසින් පෙන්වා දී ඇත. ග්‍රීකයන්,  ඉන්දියානුවන්, විශේෂයෙන්ම බෞද්ධ ජෛන ග්‍රන්ථවල මේ පිළිබඳව සඳහන්ව ඇත. 


උගතුන්ගේ අවධානයට ලක් වූ තවත් පාර්ශවයක් වන්නේ සමූහාණ්ඩු ආරම්භ වූයේ කෙසේද යන්නයි. වංශ බලවත්ව පැවැති බොහෝ ප්‍රදේශවල මුලදී පැවැතියේ රාජාණ්ඩු ක්‍රමයක් බව ඉතිහාසඥයන්ගේ අදහසයි. මෙගස්තිනීස් සඳහන් කරන්නේ මුලදී පැවති රාජාණ්ඩු අවලංගු කොට නගරවල ප්‍රජාතන්ත්‍රවාදී පාලන සංවිධාන පිහිටුවා ගන්නා ලද බවයි. ප්‍රකට ඉන්දීය ඉතිහාසඥයකු වන මහාචාර්ය මජුම්දාර් මහතා පවසන්නේ මෙය ග්‍රීසියේ  සිදු වූ දෙයට බෙහෙවින් සමාන බවත් රජවරුන් අන්තනෝමතික ආඥාදායකයන් වීම නිසා පීඩාවට පත් ජනතාව රජුන් පහකර දමා රාජ්‍යත්වය අහෝසි කර පාලන බලය ජන නායකයින් සමූහයක් වෙත පවරන්නට ඇති බවත්ය. රාජ්‍යයත්වයට දේව බලයක් ආරෝපණය කිරීමට බ්‍රාහ්මණ නීති ග්‍රන්ථ කොතරම් උත්සාහ දැරුවද ජනතාව තමන් පාලනය විය යුත්තේ තමන්ගේ කැමැත්තට අනුවය යන ස්ථාවරයෙන් බැහැර නො ගිය බව මින් පෙනේ. නමුත් ප්‍රායෝගිකව මෙය ක්‍රියාත්මක වූ බව සැක සහිතය. ආචාර්ය අලබ්කාර් මහතා ගණ, සංඝ පාලන ක්‍රමය ඍග් වේද යුගයේ සිට පැවත එන බව අවධාරණය කරතත් වඩාත් පැහැදිලි ලෙස කිව හැක්කේ ක්‍රිස්තු පූර්ව 7, 6 වන ශත වර්ෂ වල උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වල එක්තරා ප්‍රමාණයකට ප්‍රජාතන්ත්‍රවාදී යැයි කිව හැකි සමූහාණ්ඩු පාලන තන්ත්‍ර පැවති බවයි. රොමිලා තාපර් දක්වන්නේ රාජාණ්ඩු ඇති වීමට ප්‍රථම සමූහාණ්ඩු ඇති වූ බවයි. සමූහාණ්ඩු යන මාතෘකාව පිළිබඳව දීර්ඝ විවරණයක යෙදෙන ආචාර්ය ඒ. එස්. අලබ්කාර් මහතා පෙන්වා දෙන්නේ ඉන්දීය සාහිත්‍යයේ එන "ගණ" යන වචනයෙන් අදහස් කෙරුණේ හුදෙක් ගෝත්‍ර ම නොව රජුන්ගේ පාලනයක් නොතිබූ එහෙත් සමූහාණ්ඩු ක්‍රමයේ පාලනයක් පැවති ප්‍රදේශ බවයි. අවදානශතකයේ එන දෙබසක් හා ආචාරංග සූත්‍රයේ ජෛන සාධූන්ට දෙන උපදේශයක් මෙහිදී ඔහු නිදර්ශනය කරගනී.


සමූහාණ්ඩු වල ප්‍රභවය පිළිබඳව පුරාවෘත්ත දෙකක් පවතී. ඉන් එකක් නම් රාජ පෙළපතකින් පැවත එන විවිධ හේතු කරණ කොටගෙන තමන්ගේ නිජ බිමෙන් පිට වී ගොස් සිටි පුද්ගලයින් විසින් පිහිටුවනු ලැබූ බවයි. අනෙක නම් ඒවා පිහිටවූ පෙළපතේ සහෝදරයා හා සහෝදරිය අතර ඇතිවූ ව්‍යභිචාරි සම්බන්ධයකින් බිහි වූ බවයි. මින් වඩාත් තාර්කික පදනම නම් සමූහාණ්ඩු වෛද්‍ය සාරධර්ම ඉවත හෙළු බවයි. බ්‍රාහ්මණ මූලාශ්‍රයක සමූහාණ්ඩු පරිහානියට පත් ක්ෂත්‍රියයන් වශයෙන් හා ක්ෂුද්‍රයන් වශයෙන් පවා විස්තර කර ඇත. එම ගෝත්‍ර බ්‍රාහ්මණයන්ට ගරු කිරීම, වෛදික සංස්කාර විධි පිළිගැනීම අත්හිටුවා ඇත. ඔවුන් ජනප්‍රිය ඇදහිලි හෙවත් චෛත්‍ය වලට වන්දනා කිරීම හා ගස් වටා ඇති පාරිශුද්ධ වට බැමි වලට වන්දනා කිරීමෙන් ඒ බව තහවුරු වේ.


ගෝත්‍රික සංවිධාන පිහිටියේ කුඩා ප්‍රදේශයක බැවින් සාර්ථක ලෙස සමූහාණ්ඩුවක් ක්‍රියාත්මක කළ හැකි විය. නමුත් රාජාණ්ඩු වලට එය නොගැලපේ. මක් නිසාද යත් විශාල ලෙස දේශපාලනමය වශයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ජනසභා දුර්වල වීම හා පළාත් දුරස්ථ වීම සිදුවන බැවිනි. මෙනිසා රාජාණ්ඩු වල ගෝත්‍ර පක්ෂපාතීත්වය දුර්වල විය. ගෝත්‍රයක් සමූහාණ්ඩුවක් බවට පරිවර්තනය වීමේ දී ගෝත්‍රය නියෝජනය කරන මන්ත්‍රණ සභාවක් මගින් පාලනය පවත්වාගෙන යාමේ අදහස ඇතිවිය.


ඉහත දැක්වූ ආකාරයට සමූහයකගේ සහභාගිත්වය ඇතිව පාලනය වූ ජනපදවල ගණ තන්ත්‍ර පාලන ක්‍රමය විය. "රාජා" නමින් හැඳින්වුණු ස්වල්ප දෙනෙකුගේ සාමූහික පාලනය පැවති රාජ්‍ය මේ ගණයට ඇතුළත් ය. මේ රජවරුන් ඒ ඒ ගෝත්‍ර වලට අයත් වූහ. ඔවුන් ගෝත්‍ර ප්‍රධානීන් සේ සැලකිය හැකිය. ඒ අනුව සමූහාණ්ඩු  කොටස් දෙකකට වෙන් කොට ගත හැකිය. එනම්,


  •  එක කුලයකින් පමණක් සමන්විත රාජ්‍ය.

  • කුල කිහිපයකින් සමන්විත රාජ්‍ය


යනුවෙනි. මුල් කොටසට නිදසුන් වශයෙන් ශාක්‍ය ආදීන් ද, දෙවන කොටසට නිදසුන් වශයෙන් වජ්ජි, රාජ්‍යය ද පෙන්වා දිය හැකිය. රාජ්‍ය ප්‍රධානීන් හඳුන්වා ඇත්තේ පෙළ දහමෙහි "රාජා" යන වචනය භාවිතා කොට ඇත්තේ මේ ගෝත්‍ර ප්‍රධානීන් හෙවත් ප්‍රදේශ අධිපතිවරුන් සඳහාය. එවැනි කෙනෙකු යටතේ රාජාවරුන් සමූහයත් සිටි බව පිළිගත හැකිය. ශාඛ්‍ය වංශික රජවරුන් යටතේ පැවති ශාක්‍ය ජනපදය කොසොල් රජතුමා යටතේ පැවති ප්‍රාදේශීය රාජ්‍යයක් බව පාලි සූත්‍ර වලින් ද පැහැදිලි වෙයි.


ප්‍රකට සමූහාණ්ඩු 


පුරාතන ඉන්දියාවේ පැවැති බෞද්ධ මූලාශ්‍ර ගත සමූහාණ්ඩු මෙසේ ය. 

  • කපිලවස්තු පුර ශාක්‍යයෝ 

  • පාවානුවර හා කුසිනාරාවේ මල්ලයෝ

  • වේසාලියෙහි ලිච්ඡවීන්

  • මිථිලාවේ වේදේහයෝ

  • රාම ග්‍රාමයේ කෝලියෝ

  • අල්ලකප්පයෙහි බූලීවරු 

  • කේශපුත්තයේ කාලාමයෝ

  • පිප්ඵලී වනයේ මෝරියෝ 

  • සුංසුමාරගිරියේ භග්ගයෝ 


වජ්ජි හා මල්ල යන ගණ රාජ්‍ය වල පැවතියේ පැරණි ගෝත්‍රික සම්ප්‍රදාය පදනම් කරගත් පාලන තන්ත්‍රයකි. යෞධෙය වරුන්ද ඉතා ප්‍රකට ගණ රාජ්‍යයකි. ඇලෙක්සැන්ඩර් හමුදා බීයස් නදිය තරණය කොට නැගෙනහිර ඉන්දියාවට පිවිසීමට බිය වූයේ යෞධෙය වරුන්ගේ යුද්ධ ශක්තිය හා සංග්‍රාම වීරත්වයට බියපත් වූ බැවින් යැයි අල්බිකාර් පවසයි. කණිෂ්ක රජු මොවුන් ජයගත්තද ඉක්මනින්ම කැරලි ගසා ස්වාධීන වූ බව ජුනාගාද් ලිපියෙහි  දැක්වේ. නමුත් සමුද්‍රගුප්ත යුද්ධ ව්‍යාපාරය යෞධෙය ඝන  රාජ්‍ය සංවිධානය විනාශ වීමට  හේතු විය. 


කුඩා ගෝත්‍රික ජන කොටසක් වූ ශාක්‍යයන් ගැන අපට අසන්නට ලැබෙන්නේ බුදුන් වහන්සේ නිසාය. අල්ලකප්පයේ බුලීවරු ගැන සඳහන් වන්නේ බුදුන් වහන්සේගේ සිරුර ආදාහනය කළ අවස්ථාවේ භෂ්මාවශේෂ බෙදා ගැනීමට පැමිණි බව පමණකි. සර්වඥයන් වහන්සේගේ ධාතු බෙදන අවස්ථාවේ දී මෞර්‍යයන් ද පැමිණි බවත් ඔවුන් ද ධාතු ඉල්ලා සිටි බවත් සඳහන් වේ. බුදුන් වහන්සේගේ සෑයෙහි අඟුරු රැගෙන ගොස් අංගාර චෛත්‍යය  ඉදිකළේ ඔවුන් ය. මහාවංශ ටීකාවේ සඳහනට  අනුව පිප්ඵලී වනයේ මෝරියෝ මගධයෙහි මෞර්ය රාජ්‍යයේ මුතුන් මිත්තන්ය. චන්ද්‍රගුප්ත මෞර්යය රජතුමා පෙර කී මෝරිය පරපුරේ ධම්ම මෝරිය නම් රජුගේ අග බිසවගේ පුතෙකු බව මහාවංශ ටීකාවේ තවදුරටත් පෙන්වා දෙයි. මිථිල යනු නගරයක් හා ජනපදයක් විය. එහි අවසාන රජවූ සුමිත්‍ර මියගියේ සිද්ධාර්ථ කුමාර උත්පත්තිය සමීප කාලයේදීය. මිථිලාව විදේහ ජනපදය කෝසල රාජ්‍යයට ඈඳා ගන්නා අවස්ථාවේදී එයටම එකතු කරගෙන තිබුණා විය හැකිය. කෙසේ වුවද මෙම ජනපද දෙකම ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ මැද භාගය වන විට තවදුරටත් ස්වාධීන ප්‍රදේශ නොවූ බව නම් පැහැදිලිය.


ගණ තන්ත්‍ර පාලනයක් පැවති රාජ්‍ය පිළිබඳව නිතරම පෙළ දහමෙහි සඳහන් වේ. ශාක්‍ය, කෝලිය දෙපිරිස අතර රෝහිණී නදියේ ජලය පිළිබඳ දරුණු යුද්ධයක් පැනනැගුණ අවස්ථාව ඉන් එකකි. එය සංසිඳුවීමට බුදුරදුන්ට සිදුවිය. උන්වහන්සේ දෙගන්තෙර යුද කඳවුරු බැඳ සිටි පිරිස අතරට වැඩම කොට යුද්ධය සමාදාන කරන ලදී. ශාක්‍යයන් කෙරෙහි වෛර බැඳගත් විඩූඪභ රජුගේ යුද්ධ දෙකක් වලකාලීමට බුදුන් වහන්සේ ඉදිරිපත් වීම තවත් සිදුවීමකි. සාමූහික යහපත් රාජ්‍ය පාලනයක් ගෙන ගිය වජ්ජීන් විසින් ක්‍රියාත්මක කළ රාජ්‍ය මූලධර්ම හත "සප්ත අපරිහානිය ධර්ම"  ඔවුන් සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකි.  මෙම ධර්ම 7 බුදුන් වහන්සේගේ ප්‍රසංසාවට පවා බඳුන් වී ඇත.


  • වජ්ජි රාජ්‍යය


වජ්ජියද සොළොස් මහා ජනපද අතර පැවති රාජ්‍යයකි. වජ්ජි ප්‍රදේශය ගංගා නදියට උතුරින් නේපාල කඳුවැටිය දක්වා පැතිරී තිබිණි. මගධ රාජ්‍යය ගංගාවෙන් මෙගොඩත් ලිච්ඡවීන්ගේ රාජ්‍ය එගොඩක් පිහිටා තිබුණා යැයි පෙළ පොත් වලින් පෙනී යයි. ලිච්ඡවීන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය වූයේ වේසාලියයි. එහි සන්ථාගාර ශාලාවන් ඔවුන්ගේ පාලන කටයුතු සාකච්ඡා කෙරෙන හා තීරණය කෙරුණු කේන්ද්‍රස්ථානය විය. ලිච්ඡවී රාජ්‍යය පිහිටි ප්‍රදේශ වැදගත් වූයේ ඒවා නේපාල ප්‍රදේශයේ සිට ගංගා නදී නිම්නය තෙක් විහිදුණු වෙළඳ මාර්ග පාලනය කළ හැකි ස්ථානවල පිහිටා තිබීම නිසා ය. එසේම පහළ ගංගා නිම්නයේ වූ ලෝහ නිධිවලින් ලබාගත් ලෝහ හෝ ඒවායින් තැනූ භාණ්ඩ නදියෙන් උතුරේ හිමාලය බද සියලු ප්‍රදේශවලට ගෙන යා හැකි වූයේ ද මේ මාර්ගවලිනි. මේ රාජ්‍ය වලට වයඹ දිගින් කෝසල රාජ්‍යය ද දකුණෙන් හා ගිණිකොන දිගින් මගධ රාජ්‍යය ද පිහිටා තිබුණි. අන්‍යෝන්‍ය සමගිය ඔවුන්ගේ ආරක්ෂාව විය. මගධාධිපති අජාසත් රජු ලිච්ඡවින් මැඩලීම සඳහා සර්වඥයන් වහන්සේගේ වෘද්ධාවස්තාවේදී වජ්ජීන්ගේ රටට ඉතා ළං කොට ගඟෙන් එතෙර පාටලීපුත්‍ර නගරය ගොඩනැංවීය යි සඳහන් වේ. වජ්ජිවරු කුල  අටකින් සමන්විත වූ බවත් ඉන් ප්‍රධාන වූයේ විදේහ, ලිච්ඡවි, ඥාතික හා වජ්ජිවරු බවත් අනෙක් කුල හතර උග්‍ර, භොග, ඓශ්වාක හා කෞරව බවත් සඳහන් වේ. බලවත්ම කුලය වජ්ජි බැවින් වජ්ජි රාජ්‍ය නමින් ප්‍රකට විය. වජ්ජීන්ගේ අගනුවර විශාලා මහනුවරයි. ඒ හැර මිථිලා, කොල්ලාග, උක්කවේලා, කුණ්ඩපුර ආදී  උප නගර කිහිපයක්ම වජ්ජියෙහි තිබුණි. ඒකාබද්ධ රාජ්‍යයක් වූ වජ්ජියෙහි බලවත්ම පිරිස වූයේ ලිච්ඡවීහු ය. ඉන්දීය පුරාවෘත්ත වලට අනුව ඔවුහු ක්ෂත්‍රීය වංශිකයෝ වෙති. ඇතැම් විට ඔවුන් මුලින් අනාර්යයන් වුවද ආර්ය ජන කොටස් සමග එකට එකතු වීමෙන් පසු ක්ෂත්‍රිය කොටසෙහි ලා සලකන්නට ඇතැයි සිතිය හැකිය. මොවුන් බුදුදහමට හා ජෛන ආගමට අයත් වූවන් මිස හින්දු භක්තිකයෝ නොවෙති. බ්‍රාහ්මණ  ආගමට පටහැනි වූ හෙයින් මොවුන් පහත් ක්ෂත්‍රීය කොටසක් ලෙස සලකා ඇත. මුලින් රාජාණ්ඩුවක් වශයෙන් පැවැති මෙය පසුව සමූහාණ්ඩුවක් බවට පත්ව තිබේ. ඒක පඤ්ඤ හා චුල්ල කාලිංග ජාතක වලට අනුව මෙම  රජ පවුලට 7707 දෙනෙක් සිටි බව දැක්වේ. මෙම සෑම රජෙකුම අභිෂේක ලත් රජුන් විය. සියලුම රජවරුන්ට උප රාජයකු, භාණ්ඩාගාරිකයෙකු මෙන්ම සේනාපති වරයෙක්ද විය. මෙම පිරිස ඇදහිය නොහැකි වුවද ලිච්ඡවී රාජ්‍යය සුවිශාල එකක් වූ බවට සැකයක් නැත. ප්‍රකට ජෛන ආචාර්යවරයෙකු වන වරධමාන මහාවීර හෙවත් "නිඝණ්ඨනාථ පුත්ත" ලිච්ඡවි රාජ වංශිකයෙකු වේ. බිම්බිසාර රජුද ලිච්ඡවි කුමාරිකාවක් විවාහ කරගෙන සිටියේය. පසු කාලයේදී මෙයද මගධයට යටත් විය.


  • ආණ්ඩු ක්‍රමය


ලිච්ඡවීන්ගේ ආණ්ඩු ක්‍රමය සමූහාණ්ඩුවක් විය.  ඔවුන්ගේ රාජ්‍ය පාලක සභාව ක්ෂත්‍රියයන් 7707 දෙනෙකුගෙන් යුක්ත විය. අවුරුදු කිහිපයකට වරක් ප්‍රධානියකු තෝරා ගැනීම සිදුවිය. ඔවුන් නිතර නිතර මන්ත්‍රණ සභාවේ රැස්ව නොයෙක් කටයුතු ගැන සාකච්ඡා කරන ලද බව සඳහන් වේ.  

බුදුහිමියන් නොයෙක් අවස්ථාවන්හි දී ලිච්ඡවියන්ගේ පාලනය තව්තිසාවේ දිව්‍ය සභාවට සම කොට ඇති ආකාරය මෙහිදී සිහිපත් කළ යුතුය.


  • ප්‍රතිපත්ති


ලිච්ඡවීන්ගේ අභිවෘද්ධියට හේතු වූ ප්‍රතිපත්ති හතක් බුදු හිමියන් විසින් මහා පරිනිර්වාණ සූත්‍රයෙහි (අංගුත්තර නිකායෙහි) දක්වන ලදී. එනම් යහපත් පාලකයකු විසින් ගුරු කොට ගත යුතු මූලධර්ම හතක් සප්ත අපරිහානීය ධර්ම ලෙස දැක්වෙයි. බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රශංසාවට ලක් වූ මේ ධර්ම හත වජ්ජි රජ දරුවන්ගේ රාජ්‍ය පාලනය පිළිබඳ විස්තරයෙහි දක්වා ඇත. වජ්ජීන්ගේ පාලන තන්ත්‍රය විධිමත්ව, ශක්තිමත්ව, ස්ථාවරව පවත්වාගෙන යාමට හේතු වූයේ මෙම මූලධර්ම 7 යි. ඒවා නම්,


  • නිතර නිතර රැස්වීම.

  • සමගිව රැස්ව සමඟිව කටයුතු කර සමඟිව විසිර යාම.

  • පෙර නොපැනවූ නීති නොපැනවීම හා පැනවූ නීති උල්ලංඝනය නො කිරීම.

  • වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම හා ඔවුන්ගේ වචනවලට සවන් දිය යුතු බව පිළිගැනීම.

  • විවාහක හා අවිවාහක කාන්තාවන්ට කරදර නොකිරීම හා බලහත්කාරයෙන් වාසය නොකිරීම.

  • වජ්ජි රාජ්‍යය ඇතුළත හා පිටත පිහිටි පූජනීය ස්ථාන වලට ගරු සත්කාර කිරීම හා ඒවා නඩත්තු කිරීම.

  • ආගමික පූජ්‍ය පක්ෂයට පහසුකම් සැලසීම, රටට පැමිණි පූජකයන් එහි සුවසේ විසීමට සැලැස්වීම හා නොපැමිණි පූජකයන් එහි පැමිණ වීම.


සමස්තයක් වශයෙන් සලකන කළ මෙම කරුණු ස්ථාවර රාජ්‍ය තන්ත්‍රයක යහපැවැත්ම සඳහා කොතරම් වැදගත් දැයි වටහා ගැනීම දුෂ්කර නොවේ. මේවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක පැවැත්මට අතිශය උපකාරී වෙයි. සදාචාර ධර්ම පද්ධතියක් මත මෙහෙයවන රාජ්‍ය පාලනයක් මෙමගින් අවධාරණය කෙරේ. බුදුසමය රාජ්‍ය පාලනයේ දී ආර්ථික සමෘද්ධිය හා සදාචාර  සමෘද්ධිය එක හා සමාන වටිනාකමකින් අවධාරණය කරන බව පිළිගත යුතුය. බුදුරජාණන් වහන්සේ විසින් සංඝ සංවිධානය සැකසීමෙහිලා ද  ලිච්ඡවීන් අතර පැවති  ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ ගුරු කොට ගත් බව සැලකේ.


  •  ආගම්


ලිච්ඡවී රජ දරුවන් අතර ආගම් භේදයක් නොවීය. ඔවුන් සියළුම ආගම් වලට ගරු කළ අතර ප්‍රථමයෙන් ජෛන භක්තිකයන් වී පසුව බෞද්ධාගමත් ඔවුන් අතර බහුල වශයෙන් පැතිර ගිය බවට බොහෝ සාක්ෂි සාධක දක්නට ලැබේ. ඔවුන්ගේ ඥාතිවරයෙකු වූ නිගණ්ඨනාථ පුත්‍ත බහුල ලෙස වාසය කලේ ලිච්ඡවීන්ගේ අගනුවර වූ වේසාලියෙහි ය. බුදුරජාණන් වහන්සේද තමන් වහන්සේ උදෙසා නගරයෙන් පිටත කරවන ලද කූටාගාර නමැති ශාලාවේ විසූ සේක. වජ්ජියෙහි ප්‍රකට සේනාපති වරයකු වූ සිංහ සේනාපති තෙමේ මුලින් ජෛන භක්තිකයකු ව සිට පසුව බෞද්ධ ශ්‍රාවකයෙක් වී යැයි  සූත්‍ර වල දැක්වේ. බුදුරජාණන් වහන්සේ හා විවාදයට පැමිණි සච්චක ලිච්ඡවි කුමරුන්ට ආගම - ශාස්ත්‍ර උගන්වන ගුරුවරයෙක් විය. මේ ආගම් ප්‍රචලිත වීමට ප්‍රථම ඔවුන් විසින් වෘක්ෂ, යක්ෂ ආදීන්ට වන්දනාමාන කළ බවට නුවර හාත්පසින් පිහිටි උදේන චෛත්‍යය, චාපාල චෛත්‍යය හා සාරන්දද චෛත්‍යය ආදියෙන් ඔප්පු වේ.


  • ඇඳුම් පැළදුම්


අංගුත්තර නිකායෙහි පංචක නිපාතයෙහි සූත්‍රයක බුදුරජාණන් වහන්සේ එක්වරක් වේසාලියෙහි කූටාගාර ශාලාවේ වැඩ වසන අවස්ථාවක පන්සියයක් ලිච්ඡවි රජවරුන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹි බවත් ඇතැම් රජවරු නිල් පැහැයෙන් ද ඇතැම් රජවරුන් සුදු පැහැයෙන් ද ඇතැම් රජවරු කසාවත් පැහැයෙන් ද ඇතැම් රජවරු රතු පැහැයෙන් ද ආදී නොයෙක් වර්ණයන්ගෙන් සැරසී පැමිණි බව සඳහන් වෙයි. ඔවුන්ගේ සුවඳ විලවුන් වස්ත්‍රාභරණ සහ රථ ආදී  සියල්ලක් ම ඒ ඒ වර්ණයෙන්ම සැරසී තිබූ බව සඳහන් වේ. ඒ අනුව ඔවුන් ශිෂ්ටාචාරමය අතින් කෙතරම් ඉදිරියෙන් සිටියේ ඇයි දැයි වටහාගත හැකිය.


  • යුධ ශිල්පය


සංයුක්ත නිකායේ සච්ච සංයුක්තකයෙහි ලිච්ඡවී කුමාරවරුන් යුද්ධ අභ්‍යාසයෙහි යෙදුණු ආකාරය ආනන්ද ස්ථවිරයන් වහන්සේ දුටු බව කියැවෙයි. මෙකල වෙඩි තැබීම පුරුදු කරන්නා සේ එකල යතුරු කපොල්ලක් වැනි කුඩා සිදුරකින් නොවරදවා ඊතල යැවීමට ඔවුහු ඉගෙනගත් බව කියවේ. 


  • යුක්තිය පසිඳලීම


සමූහාණ්ඩු වල මූලික ශක්තිය වූයේ රජයේ සමායත අංශයයි. මෙනිසා ගෝත්‍රවල නියෝජිතයන්ගේ රැස්වීම හෝ අගනුවර මහජන සභා මන්දිරයේ කුල ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීම අවශ්‍ය විය. එම සභාවේ සභාපති ධුරය ඉසිලූවේ "රජ" යන නාමය ආරූඪ කරගත් එක් නියෝජිතයෙකි. මෙම තනතුර පාරම්පරික නොවීය. හෙතෙම රජෙකුට වඩා ප්‍රධානියෙකු වශයෙන් සලකන ලදී. සාකච්ඡාවට තුඩුදුන් කාරණය සභාව වෙත ඉදිරිපත් කරන ලදුව සාකච්ඡාවට බඳුන් විය. යම් තීරණයක් ඒකමතික වූයේ තෙවරක් සභාව මැද එය කියවීමෙනි. ඒකමතික තීරණයකට එළඹීමට නොහැකි වී නම් ඡන්දයක් තබන ලදී. ඡන්දය විමසීම සඳහා ද සම්මත ක්‍රමයක් වූ අතර එයට නිලධාරියෙක් විය. රාජ්‍යයේ සංකීර්ණ ප්‍රශ්න කොමිටියකට යොමු කරන ලදී. පාලක සභාවේ ගණපූරණය නිශ්චිත වූවකි. යම් තීරණයක් නීතියානුකූල සේ පිළිගැනීමට නම් ගණ පූරණය අවශ්‍ය විය. ප්‍රධානියාගේ සහායකයින්, භාණ්ඩාගාරික, සේනාපති වැනි නිලධාරීන්ගේ අතින් පාලන කටයුතු සිදු විය. 


සමන්තපාසාදිකාවට අනුව ලිච්ඡවීන්ගේ අධිකරණ කටයුතු අධික ලෙස සංකීර්ණ විය. ඒ අනුව වජ්ජීන්  අතර යුක්තිය පසිඳලීමේ කාර්යයෙහි යෙදුණු විනිශ්චය සභා 8 ක් විය. රාජා කෙනෙකු මුලසුන හෙබවූ  මෙම සභාවල ක්‍රියාකාරී කොටස ඉටුකරන ලද්දේ විනය විනිශ්චය මහාමාත්‍ය විසිනි. සැකයට බඳුන්වූ අපරාධකරුවා සොරෙක් නොවීනම් විනිශ්චය කරුවන් විසින් ඔහුව නිදහස් කරනු ලැබේ. ඔහු සොරෙක් යයි ඔප්පු වුවහොත් ව්‍යවහාරික නම් ඇමතිට භාර කරති. ඔවුනුත් නඩු විසඳා සොරෙක් නොවී නම් නිදහස් කරයි. වරදකරු යැයි හැඟේ නම් එතනින් ඔවුහු සූත්‍රධර නම් ඇමතියන්ට භාරකරයි. ඔවුන්ද නඩුව විභාග කොට නිදොස් බව ඔප්පු වී නම් නිදහස් කරයි. ඔවුන්ට ද අපරාධකරුවෙක් යැයි ඔප්පු වී නම් තවදුරටත් පරීක්ෂණය සඳහා අපටකුලික නම් ඇමතියන් වෙත යවති. ඔවුහු නඩු අසා වරදකරු බව පෙනී ගියහොත් තවදුරටත් පරීක්ෂණය සඳහා සේනාපති වෙතට ද ඉන්පසු යුවරජු වෙතටද ඉන්පසු රජු වෙතට ද යවයි. මෙම සියලු පරීක්ෂණ වලදී  සොරෙක් බව ඔප්පු වුවහොත් රජු විසින් නීති පොත කියවා වරදට නියම වූ දඬුවම් ද කියවා ඔහු දණ්ඩනයට පත්කරයි. ජීවිතය කොතරම් උසස් කොට මොවුන් සලකන ලද්දේ ද යන්නත් යුක්තිය සිද්ධ කිරීම සඳහා  ඉතා ශිෂ්ට සම්පන්න ආණ්ඩුවක් මෙකල පැවති බවත් මින් විවරණය වේ.


බුද්ධ කාලයෙහි මහත් ශ්‍රී සමෘද්ධියෙන් යුක්තව විසූ ලිච්ඡවීන්ගේ විනාශය ඉතාමත් කෙටි කාලයකදී සිදු විය. අජාසත් රජතුමා විසින් ඔවුන් සමගි ව සිටිය දී යුදකොට පැරදවිය නොහැකි බව දැන චරපුරුෂයන් යොදවා ඔවුන් අතර තිබූ සමගිය බිඳ භේද කරවීය. මෙය බුදුරජාණන් වහන්සේ පිරිනිවී කෙටි කලකින් සිදු වූ බව සඳහන් වේ. ලිච්ඡවින් භේද කරවීම සඳහා යොදා ගනු ලැබුවේ මගධ මහාමාත්‍ය වස්සකාර බව සඳහන්ය. සමගියෙන් අභිවෘද්ධියත් අසමගියෙන් විනාශයක් සිදුවන ආකාරය දැනගැනීමට ලිච්ඡවීහු නිදර්ශනයක් වේ.


කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය තුළ විජිගීෂු රජු විසින් බල බිඳිය යුතු ඝන හා සංඝ රාජ්‍ය  ගැන පෙන්වා දෙයි. එහිදී ලිච්ඡවික, වෘජික, මල්ලක, මද්‍රක, කුකුර, කුරු, පංචාල ආදී රාජ නම් විරුදයෙන් හඳුන්වා ගන්නා පාලක ප්‍රධානීන් විසින් පාලනය කරන වංශ පෙන්වාදෙයි. මෙම රාජ්‍යය බිඳවීමට උසස් - පහත් භේදය හා තරුණ - මහලු භේදය වැනි කූට උපක්‍රම යොදා ගත යුතු බව ඔහු දක්වයි. සමගිය පවතිනතාක් සමූහාණ්ඩු  බිඳ දැමිය නොහැකිය  යන මතය කෞටිල්‍ය  ද දැරූ බව මින් විවරණය වේ. ඔහු අගය කරන්නේ ප්‍රබල ඒකාධිපති ආණ්ඩුවක් පමණි.


ඒ අනුව පුරාතන ඉන්දියාවේ රාජාණ්ඩු වලට අමතරව සමූහාණ්ඩු පාලනය පැවති රාජ්‍යයන් ගණනාවක් පැවති බව මූලාශ්‍ර තුළින් හඳුනාගත හැකි අතර ඒවායේ ක්‍රමවත් පාලන රටාවක් පැවති බවත් බොහෝ අවස්ථාවන්හි ඒවායේ පැවති ප්‍රබල පාලනය රාජාණ්ඩුවලට පවා අභියෝගයක් වූ බව හඳුනාගත හැකි ය. පසුකාලීනව සමූහාණ්ඩුවල පැවැති බලය අඩපණ කරමින් රාජාණ්ඩු නැගී සිටින ආකාරය හඳුනාගත හැකි වේ.


ජේ. ඒ. ටී. අයි. මදුෂාණි

BA / M.phil. (History)

පේරාදෙණිය විශ්වවිද්‍යාලය.







මහනුවර ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පිළිබඳ ඓතිහාසික අධ්‍යයනයක්.

 ජේ. ඒ. ටී.අයි.මදුෂාණි  BA /  M.phil (History) University of peradeniya. 2024/12/21 ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙහි ආරම්භය.              ...